15976 BM WEB BANNER 01
Mar 20, 2017

ඉසුරගේ තක්කඩි වැඩවලින් කොට්ටාව ධර්මපාලය කම්බස් !

ඉතා කීර්තිමත් පාසලක්ව තිබූ බප/ජය/කොට්ටාව ධර්මපාල විදුහල බස්නාහිර පළාත් මහා මාත්‍යවරයාගේ හිතුවක්කාරී හා දේශපාලන වාසිසහගත වැඩ නිසා මේවන විට අපකීර්තිමත්ම පාසලක් බවට පත්වෙමින් තිබෙන බවට ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලිං මහතා කියයි.

එම විදුහලට විදුහල්පතිවරයෙකු පත් කිරීමේ ක්‍රියාව පාසල අරාජික තත්වයට පත්වීමට හේතු වී ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

මහ ඇමතිගේ ගෝල ගුරාත් කරහරියි

දෙමාපියන්ගේ, සිසුන්ගේ හා ගුරුවරුන්ගේ දැඩි විරෝධතාවය මත දූෂිත සම්මුඛ පරීක්ෂණයක් මඟින් බස්නාහිර පළාත් මහ ඇමතිවරයාගේ දේශපාලන උවමනාව මත මෙම විදුහලට පත් කරන ලද මහරගම මධ්‍ය මහ විදුහලේ විදුහල්පතිවරයා වන කේ.කේ. විජේරත්න මහතා පළාත් අධ්‍යාපන ලේකම්වරයාට ලිපියක් ලබාදී ඉල්ලා අස්වී ඇති බවද ඔහු හෙළිකර සිටී.

අද (20) මේ බව ජයවර්ධනපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියගේ විශේෂ නිවේදනයක් සහිත ලිපියක් මඟින් පාසලට දැනුම් දී ඇති බවද ඔහු ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය විසින් මාධ්‍ය නිවේදනයක්ද නිකුත්කර ඇති අතර එහි වැඩි දුරටත් මෙසේද දැක්වේ.

කේ.කේ. විජේරත්න මහතා පාසලේ වැඩ භාර ගැනීමට අවස්ථා දෙකකදී දැරූ උත්සාහය හේතුවෙන් පාසලේ සිසුන් නොසන්සුන් වී පාසල කලහකාරී තත්වයකට පත්වී අධ්‍යාපන කටයුතු මුළුමනින්ම බිඳ වැටුණි.

සිසු සිසුවියන් 5000 කට වඩා ඉගෙනුම ලබන බස්නාහිර පළාතේ විශිෂ්ඨ පාසලක් බවට පත්ව ඇති කොට්ටාව ධර්මපාල විදුහල මෙවැනි දැඩි අර්බුදකාරී තත්වයකට පත්වීමට හේතුව දිගින් දිගටම මෙම විදුහලට දේශපාලන උවමනාවන් මත සුදුසුකම් නැති විදුහල්පතිවරු අවිධිමත්ව පත්කිරීමයි.

1 ඒබී පාසලක් වන මෙම පාසලට පසුගිය කාලයේ විදුහල්පති සේවයේ 3 පන්තියේ නිලධාරියෙකු අවිධිමත්ව පත්කර තිබූ අතර, ඔහු විශ්‍රාමයාමෙන් පසු නැවතත් දූෂිත සම්මුඛ පරීක්ෂණයක් මඟින් දේශපාලන හිතවතුන් අත්තනෝමතිකව පත්කිරීමට යාමෙන් මෙම අර්බුදකාරී වාතාවරණය ඇති වී පාසලේ අධ්‍යාපනය බිඳ වැටුණි.

මෙම පාසලට විදුහල්පතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් වූ දූෂිත අවිධිමත් සම්මුඛ පරීක්ෂණය වහා අවලංගු කොට තාවකාලිකව කලාප අධ්‍යාපන කාර්යාලයෙන් පත් කළ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරියා පාසලේ විදුහල්පති ලෙස පත් කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් දෙන ලද නියෝගය නොසලකා හැර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා තම දේශපාලන හිතවතුන් මෙම විදුහලේ විදුහල්පති තනතුරට පත් කිරීමට කටයුතු කළේය.

ඔවුන් ප්‍රකාශ කරන පරිදි සම්මුඛ පරීක්ෂණයෙන් පළමුවැනියා වූ පුද්ගලයා ඉල්ලා අස්වී ඇත. අනතුරුව සම්මුඛ පරීක්ෂණයෙන් දෙවෙනියා වූවා යයි කියන කේ.කේ. විජේරත්න මහතා ද ඉල්ලා අස්වූ බව ජයවර්ධනපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියගේ ඉහත ලිපියේ සඳහන් වේ. මෙසේ අවිධිමත් ආකාරයෙන් විදුහල්පතිවරු පත්කර පාසල අර්බුදයකට යවා ඔවුන් ඉල්ලා අස්වූ බවට කරන දේශපාලන රංගනය හේතුවෙන් සිදුවන්නේ පාසලේ සිසුන්ගේ අධ්‍යාපනය බිඳ වැටීමයි.

මෙම තත්වය පිළිබඳ අවධානය යොමු කර කොට්ඨාව ධර්මපාල විදුහලේ විදුහල්පති ධූරයට සුදුසුකම් ලත් විදුහල්පතිවරයෙකු විධිමත් සම්මුඛ පරීක්ෂණයක් ඔස්සේ පත් කරන ලෙසත්, එතෙක් එම විදුහලේ අධ්‍යාපන කටයුතු දේශපාලන බලපෑම්වලින් තොරව නිසි පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය මැදිහත්වීමක් කරන ලෙසත් ලංකා ගුරු සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top