nsb

Nov 01, 2016

අපිට හයයි : හතට අලුත් ගමනක් ! Featured

වසර 2010 නොවැම්බර් 01 වැනිදා විද්‍යුත් පුවත්පතක් ලෙස ආරම්භ කළ ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය අද (01) සිය හයවැනි උපන්දිනය සමරනු ලබයි.

ශ්‍රී ලංකා මිරර් යනු මෙරට විද්‍යුත් පුවත් කලාවේ පෙර ගමන් කරුවන්ගෙන් කෙනෙකි.

මේතාක් දිගු කාලයක් අපට අපේ සේවාව පවත්වාගෙන යාමට හැකිවූයේ අප අත් නොහැරි පාඨක ඔබ නිසාය.

ශ්‍රී ලංකා මිරර් හට ඉකුත් ආණ්ඩු සමයේදී තර්ජන, ගර්ජන, බියවැද්දීම් මෙන්ම බාධාකිරීම්ද අනන්තවාරයක් සිදුකරද්දී ඒ අභියෝග ජය ගැනීමට ශක්තිය වූයේ පාඨක ඔබයි.

ඒ දුන් ධෛර්යට, ශක්තියට අපි අනන්තවාරයක් ඔබට ස්තූතිපූර්වක වෙමු.

මාධ්‍යට අසීරු යුගයේ මිරර් භූමිකාව

එදා ශ්‍රී ලංකා මිරර් පැවැති ආණ්ඩුව විවේචනය කරනු ලැබුවේ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය වෙද්දී, ප්‍රගීත් එක්නැළිගොඩලා අතුරුදහන් වෙද්දීය.

එය මාධ්‍යට ඉතා අසීරු යුගයක් විය.

රාජකීය පවුලේ පුවත් පල නොවූ ඒ යුගයේ මිරර් නව යුග පෙරළියකට මඟ පෑදුවේ රාජකීය පවුලේ අඩුපාඩු පෙන්වා දෙමිණි.

ඒ නිමිත්තම මිරර් කර්තෘ ඇතුළු කාර්ය මණ්ඩලයට සිර දඬුවම්විදීමටද හේතුකාරණාවක් විය.

මිරර් දැන් කොයිබටද ?

අසීරු යුගයක් හමාර කළ මිරර් දැන් ඊටත් වඩා අසීරු ඉල්ලක්කයක් කරා මේ වසරේ සිට ගමන් ආරම්භ කිරීමට අධිටන්කරමින් හත්වැනි වසරට පා තබයි.

ඒ දශක තුනක යුද්ධය නිමා වුවද උතුර දකුණ තවමත් එක යායක් නොවන බව අප කනගාටුවෙන් වුවද පිළිගතයුතුව තිබේ.

අපේ මීළඟ සැරියට අද අපි පා තබන්නේ මේ යාදෙක එක යායක් කිරීමට අප හමුවේ ඇති ඉලක්කය වෙත ළඟාවීමේ අධිෂ්ඨානය සැබෑවක්කර ගැනීමටය.

ගෙවුණු කාලයේ ශ්‍රී ලංකා මිරර් ගමනේ විශේෂ සටහන් පෙළ පහත දැක්වේ.

ඔරුපාරු යුගේ ඉවරයි !

ඔරු පාරු යුගය අවසන්ව පාලම් යුගය පැමිණියා සේම තොරතුරු දැනගැනීමට පත්තර, රේඩියෝ හා රූපවාහිනී යුගයත් ලෝකය තුළ මේවන විට යල්පැනගිය මෙවලම් බවට පත්වෙමන් තිබේ.

ජංගම දුරකථනය ලෝකය ආක්‍රමණය කිරීමත් සමඟ ලොව වැඩිම ජනතාවක් තොරතුරු දැනගන්නා මෙවලම බවට අද පත්ව සිටින්නේ අන්තර් ජාලයයි.

OurTeam2016 600px3 16 11 01

ඒ අනුව එහි ප්‍රධානම මෙහෙයුම් පද්ධතියක් වන වෙබ් අඩවි ද ලොව තොරතුරු ගෙනයාමේ මාධ්‍ය අතර අද ඉදිරියෙන්ම සිටින අතර ලොව වෙළඳ දැන්වීම් ආශ්‍රයෙන් වැඩිම ආදායම් ලබන මාධ්‍ය බවට පත්ව ඇත්තේද වෙබ් අඩවි වේ.

ශ්‍රී ලංකා මිරර් වසර 5ක කාලයක් දිනෙන් දින ගෙවා දැමූ අයුරු පහත දැක්වේ.

මිරර් හට එල්ල කළ පළමු ප්‍රහාරය

ශ්‍රී ලංකා මිරර්ට මුලින්ම බාධා එල්ලවූයේ මිරර් ආරම්භ කර වසරක් ගෙවෙද්දීම, වසර 2011 නොවැම්බර් 05 වැනිදාය.

ඒ විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව විසින් කිසිදු පෙර දැනුම්දීමකින් තොරව මෙරට අන්තර් ජාල සේවාවන් ඔස්සේ මිරර්ට පිවිසීමට බාධා සිදුකරමිනි.

ඔවුන් අදාල බාධාව සිදුකරනු ලැබුවේ 2011 වසරේ ජූලි 11 වැනිදා අප විසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පිළිගත් මාධ්‍ය ආයතනයක් ලෙස ලියාපදිංචිය ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබියදීය.

ඒවන විට ශ්‍රී ලංකා මිරර් ප්‍රධාන පුවත් වෙබ් අඩවි අතර සිවුවැනි ස්ථානයේ පසුවූ අතර දිනකට පාඨකයන් 25,000ත් 30,000ත් අතර ප්‍රමාණයක් මිරර් වෙබ් අඩවිය පරිශීලනය කරමින් සිටියේය.

අප වෙබ් අඩවියට ඒවන විට මාසිකව වෙළෙඳ දැන්විම්වලින් රුපියල් ලක්ෂ 5ක පමණ ආදායමක්ද තිබිනි.

කෙසේවුවද මේ ප්‍රහාරයත් සමඟ මිරර් හට විශාල පාඨක ප්‍රමාණයක් අඩුවී ගිය අතර අදායම මුළුමනින්ම පාහේ අහිමිව ගියේ.

මේ බාධා කිරීම සිදු කළ දිනයේම ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සියළුම වෙබ් අඩවි ලියා පදිංචි කළ යුතු බවයි.

ඒ අනුව 2011 නොවැම්බර් 09 වැනිදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට අයැදුම්පත්‍රයක් ඉදිරිපත්කරමින් අප එහි ලියාපදිංචි වෙමින් ලියාපදිංචි වෙබ් අඩවියක් බවට පත් විය. (මිරර් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි නීත්‍යානුකූල වෙබ් අඩවියකි)

එසේම විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව විසින් පනවා තිබූ බාධාව අප නීත්‍යානුකූලව ශ්‍රේෂ්ඨාධිකරණයේදී මූලික අයිතිවාසිකම් පෙත්සමක් මගින් අභියෝගයට ලක්කරමින් වෙබ් අඩවියට පිවිසීමේ බාධාව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මගින් ඉවත්කරගත්තේය.

ඉන් දැඩි ආර්ථික අවුලකට පත් ශ්‍රී ලංකා මිරර් කණ්ඩායම සිය උත්සාහය අත් නොහැරියේ ඇතැම්විට වැටුප් පවා නොගනිමිනි.

කෙසේවුවද එසේ අසීරුවෙන් නැවත් අළු ගසා දමා නැගීටීමට වෙරදරමින් සිටියදී මිරර් වෙබ් අඩවියට නැවත ප්‍රහාරයක් එල්ලවිය.

මිරර් මාධ්‍යවේදීන් CIDයට කුදලන්යාම

ඉන්පසුව 2012 ජුනි 29 වැනිදා ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවියේ කර්තෘ කැළුම් ශිවන්ත ඇතුළු ඡායාරූප ශිල්පී අජිත් සෙනෙවිරත්න, මාධ්‍යවේදීන් - ශිරන්තනී මානවඩු, හිමාෂි කරුණාරත්න හා තරිඳු රාජපක්ෂ යන පස්දෙනා හා එහි සේවයේ නියුතු කාර්යාල කාර්ය සහයිකා ඩබ්.ඞී. පේ‍්‍රමවතී කෝට්ටේ ඔවුන්ගේ කාර්යාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් අත්අඩංගුවට ගැණුනි.

එසේම එම ගොඩනැගිල්ලේම පිහිටා තිබූ ශී‍්‍ර ලංකා එක්ස් නිවුස් හි මාධ්‍ය වේදීන් වූ සුභාෂ් ජයවර්ධන හා සිද්ධික් කාරියප්පර් යන දෙදෙනාද ඒ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වූහ.

කාර්යාල කාර්ය සහයිකාව එම දිනයේදීම මුදා හැරි අතර මාධ්‍යවේදීන් 07 දෙනා පසු දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව පොලිස් ඇප මත මුදා හැරියේය.

මේ පිරිස අත්අඩංගුවට ගනු ලැබුවේ දණ්ඩනීති සංග‍‍්‍රහයේ 115, 118 හා 120 යන වගන්තිවලට අදාළව වරදක් කළේ යැයි පවසමිනි.

CID නඩු නෑ...Mirror බඩු නෑ..

කෙසේවුවද දණ්ඩ නීති සංග‍‍්‍රහයේ 118 වැනි වගන්තිය 2002 අංක 12 දරණ සංශෝධන පනතේ දෙවැනි වගන්තිය මගින් ඒවන විට අහෝසි කර තිබිනි.

මේ නඩුව අතරවාරයේදී එලෙස අත්අඩංගුවට ගැනුන ශී‍්‍ර ලංකා මිරර් හා ශී‍්‍ර ලංකා එක්ස් නිවුස් මාධ්‍යවේදීන්ට නැවත නොතීසියක් ලද විට අධිකරණයට පැමිණෙන ලෙසත් එතෙක් ඔවුන් මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා 2013 සැප්තැම්බර් 18 වැනිදා නියෝග කළේය.

එසේම මාධ්‍යවේදීන් සමග අත්අඩංගුවට ගැනුණ පරිගණක වල දෘඩ තැටි තබාගෙන අත්අඩංගුවටගත් පරිගණක මුදාහරින ලෙස මහේස්ත්‍රාත්වරවයා ඒ අවස්ථාවේ නියෝග කළත් මෙතෙක් එම පරිගණක මිරර් වෙත මුදාහැරද නොමැත.

කෙසේවුවද පසුව මේ සිද්ධියට අදාලව එම මාධ්‍ය වේදීන් විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13-1, 14-1(A) හා 14-1 (G) යන වගන්තිවලින් කියවෙන කථා කිරීම, අදහස් පල කිරීම හා ප‍්‍රකාශනයේ නිදහස, තනිව හෝ කිහිපදෙනෙකු සමඟ තමුන් කැමැති වෘත්තියක් කිරීමේ අයිතිය හා නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම නිසා තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව පවසමින් පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සම් මේවන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගවෙමින් පවතී.

අපේ ස්ටයිල් එක වෙබ්වල ෆැෂන් එක කළා

කෙසේවවුද මේ අලකලංචි සියල්ල මැද්දේ පාඨක ඔබ අප හා හයියක්ව සිටියේය.

පත්තර, රේඩියෝ හා රූපවාහිනී රාමුවෙන් පිට පුවත් පාඨක ඔබ වෙත ගෙන එමින් ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට අප වසර 5ක් පුරා සාධාරණයක් ඉටුකළ වත්මන් වෙබ් අඩවි බොහොමයක් අපගේ අභාෂය ගෙන කටයුතු කිරීමෙන් පෙනී යයි.

එසේම ශ්‍රී ලංකා මිරර් කණ්ඩායමේ දුකේදීත් සැපේදීත් අප හා සිටි මිතුරු කැලද නොසිටියේ නම් ශ්‍රී ලංකා මිරර් මේතරම් සාර්ථක නොවනු ද නිසැකය.

තොරතුරු හෙළි කිරීමේ අයිතිය වෙනුවෙන් ඔවුන් අප හා පෙළ ගැසුනේ ආර්ථික වාසි පසෙකලා තර්ජන ගර්ජන හා අනෙකුත් දුෂ්කරතාද මධ්‍යයයේය.

මේ සංකලනයේ වාසිය අප ලංකාවේ පුවත් වෙබ් අඩවි අතර හොදම පුවත් වෙබ් අඩවිය බවට පත් කළේය.

නොඑසේ නම් ශ්‍රී ලංකා මිරර් අපේ ස්ටයිල් එක අප ඔබේ ෆැෂන්එක බවට පත් කිරීමට අපට හැකි වූ බව අප කියන්නේ ආඩම්බරයෙනි.

මිරර් පවුලට හොඳම පුවත් වෙබ් අඩවිය ඇතුළු සම්මාන 5ක්

LK වසම් ලේකඛාධිකාරය (LK domain registry)විසින් සංවිධානය කර කරන ලද 2012 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම වෙබ් අඩවිය තේරීමේ තරගයේ සමස්ත ජයග්‍රාහකයන් ට හිමි සම්මාන අතුරින් ලෝකඩ සම්මානය ඇතුළු සම්මාන 5ක් මිරර් පවුලට හිමිවිය.

OurTeam2016 600px2 16 11 01මෙරට හොඳම පුවත් වෙබ් අඩවියට (Best Sri Lankan Website 2012 – News) හිමි ස්වර්ණ සම්මානයද, සිංහල වෙබ් අඩවිය සඳහා වන විශේෂ සම්මානය (Special Awards - Sinhala Sites) ලෝකඩ සම්මානයද ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවියට හිමිවිය.

ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය නිර්මාණය කළ වින්හෝස්ට් ඉන්කෝපරේටඞ් සමාගමටද හොඳම වෙබ් නිර්මාණකරණය සඳහා වූ විශේෂ සම්මාන අතුරින් රජත සම්මානය ද හිමිවිය.

මීට අමතරව, එකල අප පවුලේ සාමාජිකයෙකු වූ මිරර් ආර්ට්ස් වෙබ් අඩවියටද Entertainment and Lifestyle අංශයේ රජත සම්මානය හිමිවිය.

ඔබේ මනාපය, SLT අමනාපය

රිදෙන්න වැදෙන තැන්වලට දනෙන්න ගැසූ අපට ඔබේ මනාපය හිමිවුවද විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව හා ශ්‍රී ලංකා ටෙලිකොම් රාජපක්ෂ යුගයේදී නිතර නිතර අප සමඟ අමනාපයෙන් සිටි බව මේවන විට ප්‍රසිද්ධ රහසකි.

ඉකුත් වසරේ මැයි 12 වැනිදා (2014) සිට 'ශ්‍රී ලංකා මිරර් ඩොට් කොම්' (www.sinhala.srilankamirror.com) වෙබ් අඩවියට පිවිසීම මෙරට අන්තර් ජාල සේවාවන් සපයන ආයතන අවහිර කර තිබිනි.

බාධාකිරීම් ඇතුවූ අවස්ථාවේම අප ඒ සම්බන්ධයෙන් විමසීමක් කිරීමට සංදේශ කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා දුරකථනයෙන් සම්බන්ධකර ගැනීමට උත්සාහ කළ අතර ඔහුගේ ලේකම්වරිය කියා සිටියේ ඒ මහතා විදෙස්ගතවී ඇති බවයි.

මානව හිමිකම් කොමිසමේ විලාපය

ඒ අනුව අප අදාල බාධා කිරීම සම්බන්ධයෙන් විමසා ඒ මහතා වෙත විද්‍යුත් තැපෑලට ලිපියක් යොමු කළේය.

ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවියට පිවිසීම ලංකාව තුළ බාධා කිරීම සම්බන්ධයෙන් මානවහිමිකම් කොමිසමට පැමිණිල්ලක් ද කළේය.

ඒ අවස්ථාවේදී මිරර් ඇතුළු ලංකා නිව්ස් වෙබ්, ලංකා ඊ නිව්ස්, ලංකා ගාර්ඩියන්, ටැමිල් නෙට්, කලම්බු ටෙලිග්‍රාෆ්, ද ඉන්ඩිපෙන්ඩන්ට් හා ජැෆ්නා මුස්ලිම්ස් යන පුවත් වෙබ් අඩවි අට සඳහා පිවිසීමට සිදුකර ඇති බාධාවට එරෙහිවද මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් පැමිණිල්ලක් කළේය.

අදාල පැමිණිල්ල සම්බන්ධයෙන් දෙසතියකින් විසඳුමක් ලබාදෙන බවට මානව හිමිකම් කොමිසම එහිදී පොරොන්දුවුවද මෙතෙක් ඒ සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කර නොමැත.

මිරර් ගැන පාර්ලිමේන්තුවෙත් කතා

ශ්‍රී ලංකා මිරර් අතුළු වෙබ් අඩවිවලට බාධා කිරීම සම්බන්ධයෙන් පසුගිය ජූලි 29 වැනිදා සභාව කල්තබන අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා විසින් ගෙනඑන ලද යෝජනාවකට අනුව විවාදයක්ද පැවැතිනි.

එහිදී මිරර් වෙනුවෙන් තිස්ස අත්තනායක, අජිත් පී පෙරේරා හා මංගල සමරවීර යන පිරිස කරුණු දක්වනු ලැබීය.

එය ජූලි 29 පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා වේ 607 සිට 627 දක්වා පිටුවල සටහන්ව තිබේ.

UN එකත් මිරර් ගැන කතා කරයි

ශ්‍රී ලංකා මිරර් ඇතුළුව ලංකාව පිළිබඳව ප්‍රවෘත්ති පළකරන වෙබ් අඩවි ලංකාව තුළ වාරණය කර ඇති බවට තම වෙත තොරතුරු වාර්තා වී ඇතැයිද, එසේ ප්‍රවෘත්ති වෙබ් අඩවි වාරණය කර ඇත්තේ කුමන නීතියක ප්‍රතිපාදන මතද යන්න පැහැදිලි නැති බවත් එබැවින් ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් ලබා දෙන ලෙසත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ සාමාජිකාවක් වන අරියා සීබර්ට් ෆෝ මහත්මිය ශ්‍රී ලංකා නියෝජිත පිරිසගෙන් ප්‍රශ්න කළාය.

මෙසේ ප්‍රශ්න කරන ලද්දේ ඔක්තෝබර් 7 සග 8 දිනවල ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේදී රැස්වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ 112 වන සැසිවාරයේදී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව සමාලෝචනය කරන අවස්ථාවේදීය.

මිරර් එක්ක පස් වසරක් දුක සැප බෙදාගත් පාඨක ඔබට අපේ ස්තූතිය.- මිරර් කණ්ඩායම

ශ්‍රී ලංකා මිරර් හා ලංකා එක්ස් නිවුස් මාධ්‍යවේදීන් CID අත්අඩංගුවට පත්වූ අවස්ථාව පහතින් දැක්වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top