nsb

Nov 02, 2016

"අගමැතිට එරෙහි පරීක්ෂණයක් අවශ්‍ය නැ" - ශ්‍රීලනිපය Featured

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ කෝප් වාර්තාව ගැන සාකච්ඡා කිරීමේ අරමුණින්,  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා  (ඔක්.31) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී අගමැතිවරයාට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් කිසිවක් සාකච්ඡා නොවූ බව ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

දූෂිත නිලධාරීන් ආරක්ෂා කිරීමට අගමැතිවරයාට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව, කෝප් වාර්තාව පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීම සඳහා එය කඩිනමින් නීතිපතිවරයාට යැවීමෙන් පැහැදිලි වන බව දයාසිරි ජයසේකර අමාත්‍යවරයා පෙන්වා දුණි.

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ කෝප් වාර්තාව පිළිබඳ අධ්‍යයනය කර ජනාධිපතිවරයාට වාර්තාවක් සැපයීමට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පියවර ගත් බව ද අමාත්‍යවරයා පැවසීය.

මෙම කමිටුවට සභාපතිවරයාට අමතරව ජෝන් සෙනෙවිරත්න, ෆයිසර් මුස්‌තාපා, ඩිලාන් පෙරේරා, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන, දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න යන ඇමැතිවරුන් ද පත් කළ බව දයාසිරි ජයසේකර අමාත්‍යවරයා කීය.


ජනාධිපති කොමිසමක් !
මේ අතර, එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහලේකම් ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා ඊයේ (01) ධීවර අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුයේ, ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කර තිබෙන කමිටු වාර්තාව ලැබිමෙන් පසුව මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක්‌ පත් කරනවාද නැද්ද යන්න තීරණය කරන බවයි.

 මේ වන විට බැඳුම්කර සිද්ධියේ වරදකරුවන් කෝප් කමිටුව මගින් නිර්දේශ කර ඇති නිසා ඔවුන්ට කෙළින්ම නඩු පවරන ලෙස එක්‌ කණ්‌ඩායමකුත්, බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති කොමිසමක්‌ පත් කරන ලෙස තවත් කණ්‌ඩායමකුත් ප්‍රකාශ කිරීම නිසා මේ ගැන කුමන තීරණයක්‌ ගන්නවාද යන්න පිළිබඳව කමිටු වාර්තාව ලැබීමෙන් පසු ජනාධිපතිවරයා තීරණය කරන බවද අමාත්‍යවරයා කීය.

මෙම කමිටුව මේ වසර අවසන් වීමට පෙර ජනාධිපතිවරයා වෙත වාර්තාව ලබාදීමට නියමිත බවත් මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top