nsb

Nov 02, 2016

බුදු පිළිමයක් තැන්පත් කළ භික්ෂුන්ට සිතාසි (වීඩියෝ)

අධිකරණය විසින් පනවන ලද වාරණ නියෝගයක් උල්ලංඝනය කරමින් නැගෙනහිර පළාතේ බුද්ධ ප්‍රතිමාවක් ස්ථාපිත කළ බෞද්ධ භික්ෂුන් වහන්සේ ඇතුළු පිරිසකට එරෙහිව අම්පාර උසාවිය සිතාසි නිකුත් කර තිබේ.

අම්පාර-දීඝවාපි මාර්ගයේ ඉරක්කමඩු හි දෙමළ සහ මුස්ලිම් ගම්මාන දෙකක් අතර පිහිටි පුරාවිද්‍යා රක්ෂිතයක ගල් කුලක් මත සති අන්තයේ අලුතින් බුදු පිළිමයක් වඩා හිඳවූ සියලුම භික්ෂුන් වහන්සේලා අධිකරණයට කැඳවමින් පොලිසිය නියෝගයක් ලබාගෙන ඇති බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කර සිටියේ ය.

අඹගහපිටියේ සීලරතන හිමියන් ප්‍රමුඛ බෞද්ධ භික්ෂුන් වහන්සේලා ඇතුළු සැදැහැවතුන් පිරිසක් විසින් බෞද්ධ සිද්ධස්ථානයක් හෝ ආවාස ගෙයක් දකින්නට නොමැති මානික්කමඩු ගල් පර්වතය මත එම බුදු පිළිමය පිහිටුවීම වලක්වමින් පොලිසිය තහනම් නියෝගයක් ලබාගෙන ඇතැයි අම්පාර නියෝජ්‍ය පොලිස්පති වරයා තමන්ට දැනුම් දුන් බව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යවරයා සඳුදා සයින්දමරදු හිදී මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේය.


නැගෙනහිර මහ ඇමැති


ප්‍රදේශයේ නොසන්සුන්තාවක් අවුළුවමින් මෙම බුදු පිළිම පිහිටුවීම නැගෙනහිර මහ ඇමතිවරයා විසින් ද දැඩිසේ හෙලා දැක තිබුනේ ජාතීන් අතර සංහිඳියාව බිඳ හෙලීමට දරන උත්සාහයක් ලෙස පෙන්වා දෙමිනි.

“රටේ සුලු ජාතීන් බියවද්දන ක්‍රියාකාරකම් යහපාලනය යටතේත් අවහිරයකින් තොරව කරගෙන යනු ලබන්නේදැ,” යි සැක මතුවන බව මහ ඇමැති හාෆිස් අහමඩ් නසීර් මහතා මාධ්‍යවේදීන් අමතා පවසා තිබේ.

අම්පාර නියෝජ්‍ය පොලිස්පතිවරයා තහනම් නියෝගය පෙන්වූ දිනට පසුදාම එය උල්ලංඝනය කරමින් පිළිමය පිහිටවීමට කටයුතු කළ  භික්ෂුන් වහන්සේට සිතාසි නිකුත් කොට තිබෙන බව දැනුම් දුන් අමාත්‍ය රවුෆ් හකීම් මහතා, ඔවුන්ට “හෙට අනිද්දාම උසාවි යන්න’ වෙනු ඇතැයි කියා සිටියේය.

මීට ඉහතදී ඉරක්කාමම් ප්‍රාදේශීය ලේකම්වරයා මානික්කමඩු ගල් කුල මත බුදු පිළිමයක් පිහිටුවීමට අවසර නොදී තිබුනේ එය පුරාවිද්‍යාත්මක අගයකින් යුත් භුමි භාගයක් හෙයිනි.

කෙසේවෙතත්, පිළිමය ගල මතට ගෙන ගියදා රැස්වූ සැදැහැවතුන් අමතා භික්ෂුන් වහන්සේ දේශනා කොට තිබුනේ ‘දුටුගැමුණු, සද්ධාතිස්ස යුගයේ’ එතැන බෞද්ධ විහාරස්ථානයක් පැවති බවයි.

(radiogagana)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top