Apr 06, 2017

හම්බන්තොට වරාය ගිවිසුම : ජනපතිගේ ස්ථාවරය මෙන්න Featured

හම්බන්තොට වරාය චීනයට පැවරීමේ කාලය අවුරුදු 50 ක් දක්වා අඩුකර ගැනීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අපේක්ෂාව බව වරාය හා නාවික කටයුතු පිළිබඳ ඇමැති අර්ජුණ රණතුංග මහතා පැවසිය.

''ගිවිසුමේ කාලය මුලින් වසර 199 ක් ව තිබූ බවත් සාකච්ඡා මගින් එය වසර 99 ක් දක්වා අඩුකර ගැනීමට හැකිවී තිබෙන" බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ඇමැති අර්ජුණ රණතුංග මහතා ඊයේ (05) මල්වතු මහ විහාරයට ගොස් මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබාගත් අවස්ථාවේ දී මෙම කරුණු කියා සිටියේය. 

මේ සම්බන්ධ ජනපතිතුමන් පත්කළ කමිටු වාර්තාව ලබාගත් පසු එය කැබිනට් මණ්ඩල අනුමැතියට යොමුකර එහි අනුමැතිය ලද පසු ගිවිසුම අත්සන් කිරීම සුදුසු බව ජනපති හා අගමැති මතය බවත් ඉන් ඔබ්බටද ගොස් මෙය පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කිරීම වඩා යෝග්‍යය බව තම මතය බවත් කී ඒ මහතා ජනපතිතුමන්ද එම මතයේ සිටින්නේ යැයි අවධාරණය කෙළේය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ මහජනතාව පත්කළ මන්ත්‍රීවරුන් බැවින් ඒ හැම දෙනාම මෙය දැන ගැනීම ඉතා වැදගත් බවත් ඇමැතිවරයා කීවේය. යහපාලන ආණ්ඩුවට මෙය විනිවිද භාවයකින් තොරව සිදු කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද හෙතෙම පැවසුවේය.

ලේකම්වරු අත්සන් කල ගිවිසුම බලාත්මක නැහැ :
දැනට මූලීක ගිවිසුම ලේකම්වරු පමණක් අත්සන් කර තිබෙන බවත් එය බලාත්මක එකක් නොවන බවත් කී ඒ මහතා, මූලික ගිවිසුමේ බොහෝ දේ දැන් රටට වාසි සැලසෙන අන්දමින් වෙනස්කර තිබෙන බවද ප්‍රකාශ කළේය.

ගිවිසුම් කාලය අවසන්වූ පසු අප මෙය නැවත ලබාගත යුතුව තිබුණේ මුදල් ගෙවා බවත් අද එය වෙනස්කර කිසිදු මුදලක් නොගෙවා අපට ලබාගත හැකි ලෙස ගිවිසුම් වෙනස්කර තිබෙන බවත් ඇමැතිවරයා කීවේය.

'ගිවිසුම මැතිසබේට ඉදිරිපත් කරන්න' 
වරාය ගිවිසුම පිළිබඳ ජනතාව තුළ සැක මතුවීමට ඉඩ නොතබා ඒ පිළිබඳ ජනතාව දැනුවත් කර හැකිනම් එය පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කරන ලෙස මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාරථ සුමංගල මහනාහිමියෝ මෙහිදී ඇමතිවරයාට පැවසුහ.

මේ ගිවිසුම සම්බන්ධව ජනතාව නිවැරදි ලෙස දැනුවත් නොවී තිබියදී ඉන් වාසි ලබා ගන්නේ විරුද්ධවාදීන් බවත් රජය මේ පිළිබඳ අවධානය යොමුකර කටයුතු කිරීම ඉතා වැදගත් බවත් උන්වහන්සේ කීහ.

ඇමැතිවරයා අස්ගිරි පාර්ශව‍යේ මහනායක වරකාගොඩ ඤාණරතන් මහනාහිමියන්ද බැහැදැක ආශීර්වාද ලබා ගත්‍තේය.

වරාය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය රටට විවෘතව කීම මගින් ඒ සම්බන්ධව ඉස්මතුවන දුර්මත වලක්වා ගතහැකි බවත් මෙහි තොරතුරු සඟවන්න සඟවන්න අයහපත් දේ ප්‍රචාරය වීම වැලැක්විය නොහැකි බවත් මහනාහිමියෝ පැවසූහ.

මෙම අවස්ථාවට වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග , උප සභාපති ආචාර්ය ප්‍රසන්න පෙරේරා යන මහත්වරුද සහභාගී වූහ. 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top