nsb

Nov 03, 2016

විශ්වාසභංගය : ''ජනපති, අගමැති සමගයි” Featured

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත්වුවහොත් ජනාධිපතිවරයා ද ඇතුළුව සම්පූර්ණ කැබිනට් මණ්ඩලයම අගමැතිවරයා සමග ඊට මුහුණ දෙන බව රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

එය විපක්ෂයට භූමරංගයක් වනු ඇතැයි අමාත්‍යවරා පැවසුවේ ඊයේ ( 02) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවෙදීන් නැගූ ප්‍රශ්නවලට ප්‍රතිචාර දකිවමිනි.


අගමැති සම්බන්ධ නැහැ :

කෝප් වාර්තාවේ කිසිදු තැනක අගමැතිවරයා මෙම ගනුදෙනුවට සම්බන්ධ බවට චෝදනා එල්ලවී නොමැති බව පෙන්වාදුන් රාජිත සේනාරත්න අමාත්‍යවරයා, එසේ වුව ද මෙම චෝදනාව නැගුණු විට ඉතා ඉක්මණින් නිසි ආකාරයට එම වාර්තාව නීතිපතිවරයාට යොමු කිරීමෙන් අගමැතිවරයා තමන්ගේ වගකීම ඉටුකර ඇති බව ද පැවසුවේය.

අද මේ සම්බන්ධයෙන් රජයෙන් ප්‍රශ්න කරන මාධ්‍යවේදීන් පසුගිය ආණ්ඩුව සමයේදී කෝප් වාර්තා පිළිබඳව ප්‍රශ්න කළහොත් ඔවුන්ට ද ලසන්ත වික්‍රමතුංග මහතා අත්වූදේ විය හැකිව තිබූ බව අමාත්‍යවරයා පැවසුවේ, වෙනස එය බව පෙන්වා දෙමිනි.



කටඋත්තරයකට සුදානම් :

මේ අතර, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ, අල්ලස් කොමිසම තමාගෙන් ප්‍රකාශයක් අවශ්‍ය යැයි දැන්වුවහොත් නොපැකිලිව ඒ සඳහා ඉදිරිපත්වන බවයි.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ කෝප් වාර්තාව නිකුත් වූ පසු හඬ නගන පිරිසෙන් ඇතැමෙකු චෝදනාවලට ලක්වූවන් බව පැවසූ අගමැතිවරයා, ඔවුන් එසේ හඬ නගන්නේ තමන්ගේ ම නිරුවත වසා ගැනීමට යැයි පෙන්වා දුණි.

අමාත්‍ය සරත් ෆොන්සේකා වෙත එක්සත් ජාතික පක්ෂයේ කැලණිය ආසන සංවිධායක ධුරය පිරිනමමින් එම පක්ෂ මූලස්ථානයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ කරුණු සඳහන් කළේය.

නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් කැපවූ පිරිසගේ අරමුණ යහපාලනය ආරක්ෂා කිරීම බව පෙන්වා දුන් අගමැතිවරයා, කුමන හෝ කරුණක් වේ නම් එය නීතියෙන් විසඳිය යුතු බව කියා සිටියේ ය.



නීතියේ ආධිපත්‍යය :

නීතියේ ආධිපත්‍යයට ගරු කරන තමනට එරෙහිව චෝදනා එල්ල වුව ද එය ගැටලුවක් නොවන බවත්, ඒ සම්බන්ධයෙන් නීතියට සාධාරණ ලෙස ක්‍රියාත්මකවීමට ඉඩකඩ සලසන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ කෝප් කමිටු විමර්ශනය සම්බන්ධයෙන් තවදුරටත් කතා කළ අගමැතිවරයා, පසුගිය වසර දහය තුළදී මෙවැනි සාධාරණ පරීක්ෂණයක් ක්‍රියාත්මක වී දැයි ප්‍රශ්න කළේය. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හඬ නගන සියලු දෙනා ජාතියෙන් සමාව යැදිය යුතු යැයි තමා පවසන බව අගමැතිවරයා සඳහන් කළේ මෙතෙක් කල් නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක නොකිරීම ඊට හේතුව ලෙස පෙන්වා දෙමිනි.

අධ්‍යාපනය නැංවීම මෙන් ම රට සංවර්ධනය කරා ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙල සාර්ථක කරගත හැක්කේ නීතියේ ආධිපත්‍යය රැකීමෙන් බව කී අගමැතිවරයා, ඒ වෙනුවෙන් දුක් දරා ගැනීමේ ප්‍රතිඵල අද පෙනෙන්නට ඇති බව ද කියා සිටියේය.

(බීබීසී සංදේශය)

සබැඳි පුවත් 
''අගමැතිට එරෙහි පරීක්ෂණයක් අවශ්‍ය නැ'' - ශ්‍රීලනිපය

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top