Nov 03, 2016

අල්ලස් කොමිසමට සරත් ජයමාන්න ? Featured

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් වරයකු ලෙස සේවය කරන ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා පත් කිරීම සඳහා කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත දී ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතාගේ නව පත්වීම් ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කෙරෙනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

වෝහාරික විද්‍යා පිළිබඳ ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලබා ඇති සරත් ජයමාන්න මහතා ඔක්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියකු වන අතර නීතිපති දෙපාර්තමේන්තුවේ වසර 25කට අධික කාලයක් සේවය කර ඇත. එමෙන් ම නීති විද්‍යාලයේ දේශකයකු ලෙස ක්‍රියා කරන ඒ මහතා කොළඹ විශ්ව විද්‍යාලයෙහි සහ නාවල විවෘත විශ්ව විද්‍යාලයෙහි කතිකාචාර්ය වරයකු ලෙසද සේවය කර තිබේ.

 'යළි මැවෙන අපරාධයක්' නමින් අපරාධ නීතිය පිළිබඳ කරුණු ඇතුළත් ග්‍රන්ථයක්ද ඒ මහතා විසින් රචනා කර ඇත. එසේඅ සරත් ජයමාන්න මහතා ශ්‍රී ලංකාවේ නීතිමය ක්‍රියාවලිය සඳහා ඩී එන් ඒ සහ දුරකථන සාක්ෂි හඳුන්වා දීමට ද මූලික වී ක්‍රියා කළ අයෙකි.

ඉමහත් ආන්දෝලනයකට සහ දැඩි මහජන අවධානයකට ලක්වුණ කොබෙයිගනේ රූප සුන්දරිය රගර් ක්‍රීඩක ටෝනි මාර්ටින්, මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය, ඝාතන නඩු ඇතුළුව හෝකන්දර සය පුද්ගල ඝාතනය ඇඹිලිපිටිය සිසුන් අතුරුදන් වීමේ නඩුව, මිරිසුවිල් සමූහ මිනිස් ඝාතන නඩුවල පැමිණිල්ල මෙහෙයවීමට සම්බන්ධ වී ඇත.

මහා බ්‍රිතාන්‍යය විසින් ප්‍රදානය කරන ලද චෙවනින් (chevening) ශිෂ්‍යත්වයක් දිනා ගෙන තිබෙන අතර අමෙරිකා එක්සත් ජනපදයේ ෆුල්බ්‍රයිට් ආයතනයෙන් ප්‍රදානය කරන ලද හියුබට් හම්‍‍ෆ්‍රී (Hubert Humphrey) ශිෂ්‍යත්වය දිනාගෙන ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top