Nov 03, 2016

එජාප මහලේකම්ට එජාප පළාත් සභා මන්ත්‍රීන්ගේ විරෝධය

එජාප මහලේකම් කබීර් හෂීම් මහතාට එම පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන්ගෙන් අද(03දා) විරෝධයක් එල්ල විය. මහලේකම් කබීර් හෂීම් මහතාට මෙම විරෝධය එල්ලවූයේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදීමය.

එජාපයේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සදහා යැයි කියමින් රට පුරා සිටින එම පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන් අද (03දා) සිරිකොත මූලස්ථානයට කැදවා තිබුණි.

එස රැස්වීමට එක්වූ පළාත් සභා මන්ත්‍රීවරුන් ආරම්භයේ සිටම එජාප මහලේකම් කබීර් හෂීම් මහතාගේ ක්‍රියාකලාපය දැඩි විවේචනයට සහ දෝෂ දර්ශනයට ලක් කළේය.

ආණ්ඩුව ගොඩ නගා වසරක් ඉක්මගොස් ඇතත් සිය පාක්ෂිකයින්ට රැකියා ලබා දෙමින් සහනයක් සැලසීමට නොහැකිවූ බවට චෝදනා එල්ල කළ පළාත් සභා මන්ත්‍රීවරු එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා වෙත ඔබතුමා කරන්නේ කුමක්දැයි ප්‍රශ්න කළේය.

සාමාන්‍ය පාක්ෂිකයෙකුට තබා පාර්ලිමේන්තු මන්ත්‍රීව‍රයෙකුටවත් රාජ්‍ය ඇමතිවරයෙකුටවත් නියෝජ්‍ය ඇමතිවරයෙකුටවත් සමහරවිට ඇමතිවරුන්ට පවා දුරකථනයෙක් මහලේකම්වරයාව සම්බන්ධකරගත නොහැක්කේ මන්දැයි කබීර් හෂීම් මහතාගෙන් ප්‍රශ්න කළ එම පළාත් සභා මන්ත්‍රීවරු බලයට ආ පසුව එක්සත් ජාතික පක්ෂයත් මැතිඇමතිවරුනුත් පාක්ෂිකයින් අමතක කිරීම දැඩිලෙස හෙළා දුටුහ.

පළාත් සභා මන්ත්‍රීවරුන්ගෙන් දිගින් දිගටම චෝදනා සහ විවේචන එල්ල වීම හමුවේ මේ රැස්වීම දැඩි උණුසුම්කාරී තත්වයක් ගත් අතර කබීර් හෂීම් මහතාට මන්ත්‍රීවරුන්ගේ එම විරෝධය කිසිසේත්ම පාලනය කර ගත නොහැකි විය.

සිරිකොත මූලස්ථානයට මෙසේ පළාත් සභා මන්ත්‍රීවරුන් කැදවූයේ මහාභාණ්ඩාගාර බැදුම්කර සිද්ධිය ,අයවැය යෝජනාවලිය ,ඉට්කා ගිවිසුම සහ වැට් පනත මගින් ආණ්ඩුව දැඩි අර්බුදයකට මුහුණ දී සිටින නිසා යැයි කබීර් හෂීම් මහතා හමුවේ ප්‍රසිද්ධියේම චෝදනා කළ එම මන්ත්‍රීවරුන් තවදුරටත් මේවගේ රැවටිලිකාර වැඩවලට හසුවන්නේ නැතැයිද කියා සිටියේය.

පළාත් සභා මන්ත්‍රීන්ගෙන් දිගින් දිගටම එල්ල වන චෝදනා සහ දෝෂාරෝපණ වැඩිදුර ගොස් ගැටුම්කාරී තත්වයක් ඇති වීමට පෙර අදාළ රැස්වීම වහාම නතර කිරීමට එජාප මහලේකම් කබීර් හෂීම් මහතා පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අනුරාධ විමලරත්න මහතාගෙන් ශ්‍රී ලංකා මිරර් කළ විමසීමකදී මේ සිද්ධිය තහවුරුකළ ඔහු කියා සිටියේ උද්ගතවී තිබෙන තත්වය සහ කිවයුතුව තිබෙන දේ එජාප මහලේකම් කබීර් හෂීම් මහතා හමුවේ සෘජුවම කියා සිටි බවය.

පක්ෂයේ මහලේකම්වරයා ලෙස කබීර් හෂීම් මහතා ක්‍රියා කරන ආකාරය කිසිසේත් අනුමත කළ නොහැකි බව පෙන්වා දුන් අනුරාධ විමලරත්න මහතා මේ අයගේ ක්‍රියාකලාපය නිසා පාක්ෂිකයින් සහ පක්ෂයේ විජයග්‍රහණය වෙනුවෙන් ඇප කැපවී ක්‍රියාකළ සියලු දෙනා අනාථ වී සිටින්නේ යැයි ද චෝදනා කළේය.

-සුජිත් මංගල ද සිල්වා-

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top