Nov 04, 2016

තිස්සට ඇප දෙනවද ? නැද්ද ? තීන්දුව අද

ඉකුත් ජනාධිපතිවරණ සමයේදී ව්‍යාජ අත්සන් යෙදූ ව්‍යාජ ලේඛන පුවත්පත් සාකච්ඡෘවක දී ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා තුනක් සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ඇප මත මුදාහරිනවාද නැද්ද යන්න පිළිබඳ තීන්දුව අද (4) ප්‍රකාශ කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය ඊයේ (3) පැවසුවාය.

ඉකුත් ඔක්තෝබර් මස 19වැනිදා කොළඹ මහාධිකරණය ලබන දෙසැම්බර් මස 5වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කළ විත්තිකාර තිස්ස අත්තනායක මහතාගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය සුවිශේෂී කරුණක් ලෙස සලකා ඕනෑම කොන්දේසියක් මත ඇප මත මුදා හරින ලෙස ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා කළ ඉල්ලීමක් සලකා බැලූ විනිසුරුවරිය මේ බව සඳහන් කළාය.

මෝසමක් මඟින් දිව්රුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් විත්තිකාර තිස්ස අත්තනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා මෙම ඉල්ලීම කෙළේය.

විත්තිකරු විසින් ඉදිරිපත් කර ඇති දිව්රුම් ප්‍රකාශයේ කරුණු මුළුමනින්ම අසත්‍ය බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් වසන්ත නවරත්න බණ්ඩාර මහතා මෙහිදි කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කෙළේය.

‍රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ මෛත්‍රීපාල සිරිසේන මහාතගේ අත්සන් වෙනත් ලේඛනයකින් ස්කෑන් කර විත්තිකරු ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඉදිරිපත් කළ ලේඛනයට යොදාගෙන ඇති බවට රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කර ඇති බව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කීය.

එහෙත් එම කරුණු මෙම දිව්රුම් ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ දී සඟවා ඇතැයි ඒ මහතා කීය.

විත්තිකරුට ඇප ලබාදෙන ලෙසට ඉල්ලා ඉදිරිපත් කර ඇති කරුණු සුවිශේෂී කරුණු නොවන බැවින් එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

රජයේ අධි නීතිඥ යසිදු සෙනෙවිරත්න, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිණී ගිරිහාගම සමඟ අතිරේක සොලිසිටර් ජෙනරාල් වසන්ත නවරත්න බණ්ඩාර මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top