Apr 19, 2017

'ආණ්‌ඩුව පෙරළනවා කියන්නේ අලි බොරුවක්‌' - මහින්ද

ආණ්‌ඩුව පෙරළනවා කියන කතා අලි බොරුවක්‌ යෑයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ දැනට අබලන් තත්ත්වයේ පවතින රන්න කදිරගොඩ පැරැණි පාලම වෙනුවෙන් රුපියල් මිලියන 30 ක වියදමින් නව පාලමක්‌ ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමේ අවස්‌ථාවට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අමාත්‍යවරයා මෙසේද කීය.

''මිනිස්‌සු කැමැති නැහැ විරුද්ධ පක්‍ෂයට ගිහිල්ලා අවුරුදු හතරක්‌ පහක්‌ තමන්ට කිසිදු දෙයක්‌ නොලැබී අඳුරේ ඉන්න. රට අඳුරට හෙලන්න ගම්මු කැමති නැහැ. 

ගම්වල අය ඡන්ද පිළිබඳව පක්‍ෂය පිළිබඳව තීන්දු ගන්නේ ඊළඟට එන මහ මැතිවරණ හා ජනාධිපතිවරණ වලදීයි. ඒ දෙකම පැවැත්වෙන්නේ 2020 න් පස්‌සේ. 

ඒ නිසා එතෙක්‌ කාටවත් මේ රජය හොල්ලන්න බැහැ.

 පෝය දෙකකින්, ඊළඟ වෙසක්‌ පෝයට කලින් ආණ්‌ඩුව පෙරළනවා කියලා සමහර අය ප්‍රකාශ කරන්නේ ඒ අයට හිතවත් ජනතාව පෙළඹවීමට මිසක්‌ කළ හැකි නිසා නොවෙයි. ''

කාගෙවත් පාපිස්‌සක්‌ වෙන්නේ නැහැ :
ජාතික ආණ්‌ඩුවේ ඇමැතිකම් ගත්තේ කාගෙවත් පිරුවටයක්‌ හෝ කාගෙවත් පාපිස්‌සක්‌ බවට පත්වෙන්නවත් නොවේ යෑයි ද ඇමතිවරයා එහිදී කියා සිටියේය.

''අපි මේ ජාතික ආණ්‌ඩුවට එක්‌වී කටයුතු කළාට අපි කාගේවත් පිරුවටයක්‌වත්, පාපිස්‌සක්‌වත් බවට පත්වෙන්නේ නැහැ. අපිට අනන්‍යතාවයක්‌ තියෙනවා. අපි කටයුතු කරන්නේ ඒ අනන්‍යතාවය රැක ගනිමිනුයි'' ඔහු අවධාරණය කළේය.

පුංචි ඡන්දේ අලුත් ක්‍රමයකට : 
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමතිවරයා මෙසේද පැවසිය.

''දැන් මේ වර්ෂයේදී අපි පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ අලුත් මැතිවරණ ක්‍රමයට අනුව. ඒ පනතට අවශ්‍ය සංශෝධන ඊළඟ කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කරන්න කියලා ජනාධිපතිතුමා පළාත් පාලන අමාත්‍යතුමාට උපදෙස්‌ දී තිබෙනවා. 

ජනාධිපතිතුමා එතුමාට උපදෙස්‌ දුන්නා වහාම ඒ වෙනස්‌කම්වලට අදාළ කැබිනට්‌ පත්‍රිකාව ඊළඟ කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කරන්න කියලා.

 නව මැතිවරණ ක්‍රමය යටතේ මීළඟ පළාත් පාලන මැතිවරණය පවත්වනවා විතරක්‌ නොවෙයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය විදියට ඒ මැතිවරණය ජය ගන්නත් අපිට ශක්‌තිය තිබෙනවා.''

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top