nsb

Apr 20, 2017

කොළඹ කසල පුත්තලමට : 'හොඳ වැඩපිළිවෙක්' - චම්පික

කොළඹ කසල පුත්තලමේ අරුවක්කාලූහි පිහිටි හිරිගල් වලවල්වලට ගොස් දැමීමට පසුගිය රජය සියලූ කටයුතු සූදානම් කරතිබූ බවට ඇතැමුන් කරන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බවත්, මෙම වැඩපිළිවෙලට කැබිනට් අනුමැතිය ලබාගත්තේ පසුගිය ජනාධිපතිවරණයට මාස තුනකට පෙර දී බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද( 20) දින බත්තරමුල්ල සුහුරුපායේ 18 වන මහලේ පිහිටි අමාත්‍යාංශයේදී පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.

එම වැඩපිළිවෙල හොඳ එකක් බැවින් වත්මන් රජය යටතේද ඉදිරියට ගෙන ගිය නමුත් පරිසර වාර්තා අනුව තෝරාගෙන තිබූ ස්ථානයේ එය ක්‍රියාත්මක කළ නොහැකි වූ බව කී අමාත්‍යවරයා, දැන් එය අරුවක්කාලූහි වෙනත් ස්ථානයක ආරම්භ කිරීමට පියවර ගනිමින් සිටින බව ද සඳහන් කළේය.

අරුවක්කාලූ ප්‍රදේශයේ විද්‍යාත්මක කසල රඳවනයක් තැනීමේ වගකීම තම අමාත්‍යාංශය භාරගෙන ඇතැයි කී අමාත්‍යවරයා ඉදිරි වසර දෙක තුළ එය ඉටුකරන බව ද කීවේය.

අත්‍යාවශ්‍ය සේවයක් බවට !

කසළ කළමණාකරණය අත්‍යාවශ්‍ය සේවයක් බවට පත්කළ යුතු යයි ද අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා එහිදී අවධාරණය කර සිටියේය.

‘‘මීතොටමුල්ල විශාල ඛේදවාචකයක් බවට පත් වී ඇති මොහොතක දේශපාලන පාපන්දුවක් බවට පත් කරගනිමින්, දේශපාලන චරිත ඝාතන හා විවිධ මතවාද පැතිරවීම සඳහා මෙම සිදුවීම උපයෝගී කර ගැනීම ඉතාම කණගාටුවට කරුණක්...

සමාජයේ කසල ප්‍රශ්නය පිළබඳව ඉතා සංවේදී විය යුතුයි. ඒ වගේම මේ කසළ තුළ ඇති කසඩ දේශපාලනය ඉවත් කළ යුතුයි.

මේ රටට කසළ කළමණාකරණය සඳහා විද්‍යාත්මක විසඳුමක් ලබාගැනීමට ඉඩ නොදුනහොත් ඉදිරියේදී මෙවැනි ඛේදවාචකයන්ට මුහුණ දීමට අපට සිදුවෙනවා'' යයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූහ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top