Apr 20, 2017

'හොරකම් කළ රාජපක්ෂලාට දඬුවම් දී නැහැ' - අර්ජුන Featured

පසුගිය සමයේ 'දූෂණවලට සම්බන්ධ' වූ කිසිවෙකුටත් මෙතෙක් දඬුවම් කර නොමැති බව වරාය සහ නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඒ පිළිබඳ නිසි ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කළ ඇමතිවරයා "අපිත් බලාපොරොත්තු වුනේ හොරකම් කරපු මිනිස්සු අල්ලලා දෙන්න" යනුවෙන් කියා සිටියේ අද (අප්‍රේල් 20) වෙනිදා කොළඹ බ්ලූමෙන්ඩල් ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා වරාය අධිකාරියට සම්බන්ධ ආයතනයක පැවති උත්සවයකින් අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

පසුගිය ආණ්ඩුව සමග "ව්‍යාපාර කළ" පුද්ගලයන් වත්මන් ආණ්ඩුවේ ඇමතිවරුන් සමග ද සමීප සබඳතා පවත්වන බවටත් ඇමතිවරයා චෝදනා කළේය.

දූෂණවලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරන බවත් අමාත්‍ය අර්ජුන රණතුංග සඳහන් කළේය.

මම කරපුවා කව්රුවත් කරලා නැහැ :

කෙසේ නමුත් 2020 වසරේ මහ මැතිවරණයක් පැවැත්වෙන බවත් තමන් සිය වගකීම් නිසි ලෙස ඉටු කරන බවත් ඔහු පැවසීය.

"ජනාධිපතිතුමා කිව්වොත් මේකෙන් යන්න කියලා මම යනවා. එහෙම නැතුව එකඑක්කෙනා කියන විදිහට අස්වෙන්න මම පඹයෙක් නෙවෙයි. මම කරලා තියෙන දේවල් ඔය කතා කරන එක්කෙනෙක්වත් කරලා නැහැ" යනුවෙන් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.

(බීබීසී සංදේශය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top