15976 BM WEB BANNER 01
Nov 05, 2016

'අමරදේවයන්ගේ අභාවයෙන් අහසත්, පොළවත් මැලවිලා' Featured

ශ්‍රී ලංකාවේ මහා ගාන්ධර්වයා, පණ්ඩිත් අමරදේවයන්ගේ අභාවය සමඟ සිය ජීවිතද අභාවයට ගිය බව විශාරද නන්දා මාලිනිය පවසන්නීය.

ආචාර්ය අමරදේවයන්ගේ අභාවය ශ්‍රී ලංකාවාසීන්ට මෑත යුගයේ අසන්නට ලැබුණු 'දුක්ඛදායකම පුවත' ලෙසින් විශාරද නන්දා මාලිනිය විග්‍රහ කරයි.

"අහසද, පොළවද, ගස් ගල්ද සතා සීපාවද මැලවිලා ඉන්නේ මේ ආරංචියෙන්."

දශක පහක මුළුල්ලේ පැමිණි සිය සංගීත චාරිකාවට එදා මෙදා තුර අමරදේවයන් දිරි දුන් ආකාරය ඇය කෘතවේදීව සිහිපත් කළාය.

"අමරදේව සර් තමයි මගේ ජීවිතේ නැවත ඉපැද්දුවේ අම්මගෙන් පස්සේ," නන්දා මාලිනිය සඳහන් කළේ කඳුළු වලකා ගැනීමේ උත්සාහයක යෙදෙමිනි.

හදවතේ මතු වන වේදනාව ඇගේ ඒ උත්සාහයට බාධා කළ බව පැහැදිලිව දකින්නට ලැබිණ. "මම හිතන්නේ මාව සැලකුවේ සර් දරුවෙකුට වගේ."

"මම හිතන්නේ අපේ දරුවන්ටවත්, ඒ දරුවන්ගේ දරුවන්ටවත් කවදාවත් ඒ හිස් තැන පුරවන්න හම්බවෙන්නේ නෑ," ඇය කඳුළු අතරින් වැඩිදුරටත් කියා සිටියේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී 'බිබිසි සංදේශය' හමුවේ අදහස් දක්වමිනි.

ඉතිහාසයේ පළමු අවස්ථාව:

අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ දේහය මේ වන විට කොළඹ නිදහස් චතුරශ්‍රයේ තැන්පත් කර ඇත.

බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක සිට එම දේහය නිදහස් චතුරශ්‍රය වෙත රැගෙන ආවේ ඊයේ උදෑසන 10.00ට පමණය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද අවමංගල්‍ය පෙරහැරට එක්ව සිටියේය.

කිසියම් තැනැත්තෙකුගේ දේහය නිදහස් චතුරශ්‍රයේ තැන්පත් කිරීම එම තැනැත්තාට කෙරෙන ගෞරවයක් ලෙස සැලකේ.

කෙසේ වෙතත් කලාකරුවෙකුගේ දේහය සම්පූර්ණ දිනයක් එහි තැන්පත් කර තැබෙන පළමු අවස්ථාව මෙය බව වාර්තාවේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top