nsb

Nov 05, 2016

බලය බෙදීම : ජනපති කැමැත්ත වෙනස් කරන්න මෙහෙයුමක් Featured

ජාතික සංහිඳියාවක් සහ තිරසාර සාමයක් අරමුණු කර ගනිමින් වත්මන් ජනාධිපතිවරයා ඇතුළු ඔහුගේ පාර්ශ්වයේ බහුතරයක් එක රටක් තුළ බලය බෙදාහැරීමට පක්ෂව සිටිය දී ඊට එරෙහිව ජනාධිපති කාර්යාලයට සම්බන්ධ කිහිප දෙනකුගේ ක්‍රියාමාර්ග මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව කල් යන තත්ත්වයක් උද්ගතව ඇත.

අප වෙත වාර්තා වන අන්දමට මීට හේතු වී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව වෙත සහාය වීම පිණිස පත් කළ විශේෂ අනුකමිටු 6 ක් ‘කේන්ද්‍රය හා පරිධිය අතර සම්බන්ධය’ පිළිබඳ නිකුත් කළ අනුකමිටු වාර්තාව සංශෝධනය කළ යුතු බවට අදාළ පාර්ශ්ව බලපෑම් එල්ල කිරීමට ගෙන ඇති නිසාය.

එහි දී ඔවුන් ‘කේන්ද්‍රය හා පරිධිය සම්බන්ධය’ අනුකමිටු වාර්තාව වෙත සිය විරෝධය පළ කර ඇත්තේ බලය බෙදාහැරීම සම්බන්ධව තමන් පෙන්වා දුන් සීමා ඉක්මවා බලය බෙදාහැරීමට අදාළ අනුකමිටු වාර්තාව කටයුතු කර ඇති බව සඳහන් කරමින්ය.

ජනපති ගෙන් ප්‍රතිඥාවක් :

එසේම අදාළ වාර්තාව තුළ තම නිර්දේශවලට අනුව සිදුව ඇත්තේ ‘මැතිවරණ ක්‍රමය’ පිළිබඳ කරුණු පමණක් හෙයින් ඒ හැර අනෙක් සියල්ල සංශෝධනය කළ යුතු බවත් ඔවුන්ගේ අදහස වී ඇත.

මෙහි දී ඔවුන් අදාළ කමිටු නියෝජනය කළ ශ්‍රීලනිප නියෝජිතයන් ද විවේචනය කර ඇති අතර ශ්‍රීලනිපයේ ඡන්ද පදනම බහුතර සිංහල ජනතාව මත ඇති බවත් එය නැතිකර ගැනීමට තමන් ඉඩ නොතබන බවත් සඳහන් කළ බව වාර්තා වේ.

මේ පිළිබඳ අප ආණ්ඩුවේ ප්‍රබලයකු වෙතින් කළ විමසුමක දී ඔහු සඳහන් කළේ ජනාධිපතිවරයා බලය බෙදාහැරීමට පක්ෂව පමණක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ තීරණය පිළිගන්නා බවට ප්‍රතිඥා දී ඇති බවත් ඒ තුළ ජාතිවාදී පදනමෙන් ජනාධිපතිවරයාව අපකීර්තියට පත් කරන්නට කටයුතු කරන අය පිළිබඳ ඔහු තැකීමක් නොකරනු ඇති බවට තමන් විශ්වාස කරන බවත්ය

එසේම මෙහෙයුම් කමිටුවේ වාර්තාව සකස් කිරීම මෙන්ම දැනට වැඩ අවසන් කර ඇති විශේෂ අනුකමිටු 6 හි වාර්තා භාෂා තුනෙන් පරිවර්තනය කරමින් සිටින බවත් එම කටයුතු අවසන් කළ සැණින් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ රැස්වීමක් කැඳවා මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව ඉදිරිපත් කිරීම නියමිත පරිදි සිදු වනු ඇති බව ත් ඔහු සඳහන් කළේය.

ආණ්ඩුව සැලසුම් කළ පරිදි එය නොවැම්බර් මාසයේ අවසන් සති දෙක තුළ සිදුවනු ඇති බවත් තවදුරටත් ශ්‍රීලනිපය හෝ ආණ්ඩුව තුළ ජාතිවාදී පාර්ශ්වවලට ඇති තැන එවිට දැනගන්නට ලැබෙනු ඇති බව වැඩිදුරටත් ඔහු පැවසීය.

(සංජය ලියනගේ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top