Nov 05, 2016

මහා ගාන්ධර්වයාණෝ සමුගනිති

දිවියෙන් සමුගත් ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්ඩි අමරදේවයන්ගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී අද (නොවැම්බර් 05) සිදු කෙරිණ.

සුවහසක් ජනතාවගේ සෝසුසුම් මැද නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ ඉදි කරන ලද චිතකයට ගිනි දැල්විණි.

රාජ්‍ය ගෞරව සහිතව පැවති අවමංගල්‍ය උත්සවය සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු කලාකරුවන් විශාල පිරිසක් එක් වී සිටියහ.

චිතකයට ගිනි දැල්වීමට පෙර පණ්ඩිත් අමරදේවයන්ගෙන් කලාවට ඉටුවූ අනුපමේය මෙහෙය සිහිපත් කරමින් ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ කලාකරුවෝ අදහස් දැක්වූහ.

ජනපතිගෙන් පොරොන්දුවක්

අමරදේවයන්ගේ නමින් කලා කේන්ද්‍රයක් පිහිටුවන බව අවමංගල්‍ය උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේය.

“මම හිතනවා විශ්ව විද්‍යාල ක්‍ෂේත්‍රයේ , සෞන්ධර්ය ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයින්ට වගේම වර්තමානයේ කලාකරුවන්ට ඉමහත් වගකීමක් සහ යුතුකමක් පැවරෙනවා අමරදේවයන්ගේ හඬ සහ දැනුම සමග ඒ උතුම් ගුණාත්මක භාවයේ අගය අනාගතයට ගෙනයෑම සඳහා..

අමරදේවයන් සිහිපත්කරමින් ඒ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයෑමට අපි බලාපොරොත්තු වෙනවා අමරදේවයන්ගේ නාමයෙන් විශේෂයෙන්ම අමරදේව කේන්ද්‍රයක්, කලා ආයතනයක් , ජාතික මධ්‍යස්ථානයක් පිහිටවන්නට”.

අමරදේවයන්ගේ මෙහෙවර කිසිදා මිය නොයන බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී සඳහන් කළේය.

ජාතිවාදය හෝ ආගම්වාදය :

පණ්ඩිත් අමරදේවයන් කිසිදිනක ජාතිවාදය හෝ ආගම්වාදය වෙනුවෙන් පෙනී නොසිටි බව අවමංගල්‍ය සභාව අමතමින් මහාචාර්ය සුනිල් ආරියරත්න පැවසීය.

ඒ හේතුවෙන් සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජනවර්ග සහ ආගම්වලට අයත් රසික රසිකාවියන් ඔහු වටා රොද බැඳගත් බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.

මේ අතර පණ්ඩිත් අමරදේවයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරෙන අද (නොවැම්බර් 05) කොළඹ නගර සීමා බල ප්‍රදේශයේ සියලු සුරා සැල්, සිනමා ශාලා සහ මස් අලෙවිසැල් වසා දැමිය යුතු බව රජය දැනුම්දී තිබේ.

පණ්ඩිත් අමරදේවයන් දිවියෙන් සමු ගත්තේ ඔක්තෝම්බර් 27 වනදා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි.

ඔහු ඒ වන විට අසූ අට වැනි වියේ පසු විය.

amara1

amara11amara2amara3

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top