Nov 06, 2016

වැට් බදු අතරතුර කොමිස් ගැහිල්ලක් ! Featured

මෙතෙක් වැට් බද්දෙන් නිදහස් කර නොමැති ආභරණ ඇතුළු භාණ්ඩ හා සේවා කිහිපයක් මහා පරිමාණ කොමිස් ගනුදෙනුවක් මත යෝජිත 2017 අයවැය හරහා වැට් බද්දෙන් නිදහස් කර ගැනීමේ සූදානමක් ඇතැයි වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් කිහිප දෙනකු, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනකු සහ අයවැය සම්බන්ධව කටයුතු කරන මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිප දෙනකු සමඟ අවස්ථා කිහිපයක දී සාකච්ඡා කර ඇති බවත් එහි දී වැට් බද්දෙන් නිදහස් කර දෙනු ලබන එක් එක් භාණ්ඩ හා සේවා වෙනුවෙන් ලැබිය යුතු කොමිස් මුදල් ප්‍රමාණය පිළිබඳව ද එකඟතාවකට පැමිණ ඇති බවත් වාර්තා වෙයි.


ජනාධිපතිවරයා වෙත පැමිණිල්ලක් :


ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙම අයථා ගනුදෙනුව පිළිබඳව ජනාධිපතිවරයා වෙත ද පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇති අතර ඊට අදාළව විශේෂ විමර්ශනයක් මේ වන විටත් ආරම්භ කර ඇත.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ අදාළ අයථා ගනුදෙනුව සම්බන්ධව ව්‍යාපාරිකයන් සමඟ සාකච්ඡා පැවැත්වූ නිලධාරීන් කිහිප දෙනකුගේ අනන්‍යතා ද මේ වන විට හෙළිව ඇති බවය.

ඒ අනුව අයවැය හරහා මෙම වක්‍ර බදු වංචාව සිදු නොවන තැනට වගබලා ගන්නා ලෙස අදාළ වගකිවයුතු පාර්ශ්ව දැනුවත් කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය ක්‍රියා කර ඇති බවත් ජනතාවගේ දෛනික පරිභෝජනයට අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ හා සේවා අනවශ්‍ය ලෙස වැට් බද්දෙන් නිදහස් කිරීමට යමකු උත්සාහ කළහොත් ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන බව එහි දී දැනුම් දී ඇති බවත් එම වාර්තා සඳහන් කරයි.


ආභරණ මිල ඉහළ යාම :


එසේම රත්‍රන්, ප්ලැටිනම්, මැණික්, මුතු හා දියමන්ති වෙනුවෙන් මේ වන විටත් වැට් බදු සහනය ලබා දී ඇති තත්ත්වය හමුවේ ආභරණ මිල ඉහළ යාම සම්බන්ධයෙන් විශේෂ මැදිහත් වීමක් සිදු කිරීමට අවශ්‍ය නැති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

නොවැම්බර් 01 සිට බලාත්මක වූ වැට් බදු සංශෝධනයට අනුව භාණ්ඩ හා සේවා 82 ක් වැට් බද්දෙන් නිදහස් කර ඇත.

එසේම නව සංශෝධනය හරහා වැට් බද්දෙන් නිදහස් නොකළ භාණ්ඩ වෙත මෙතෙක් පනවා තිබූ 11% ක වැට් බද්ද 15% ක් දක්වා ඉහළ දමා ඇත.

(සංජය ලියනගේ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top