Nov 06, 2016

විමල් ගැන කියා සුජීවගෙන් සාගලට දොස්

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ නිවසේ දී තරුණයකු මරණයට පත් වීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු  කඩිනමින් සිදු නොවන බවට අන්තර්ජාතික වෙළෙඳ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති නීතිඥ සුජීව සේනසිංහ මහතා නීතිය හා සාමය භාර ඇමැති සාගල රත්නායක මහතාට තදින් දොස් පවරා ඇත.

පසුගිය සතියේ කැබිනට් මණ්ඩල සාකච්ඡාවෙන් පසුව ජනාධිපතිවරයා, අගමැතිවරයා හා ඇමැතිවරුන් කිහිප දෙනකුගේ සහභාගිත්වයෙන් පැවැත්වූ සාකච්ඡාවක දී සේනසිංහ මහතා එසේ චෝදනා කර ඇත.

එසේම මේ වන විට මෙම විමර්ශන කටයුතු භාරව කටයුතු කරන ඇතැම් ඉහළ පොලිස් නිලධාරීන් මෙම කටයුතු ප්‍රමාදයකින් තොරව සිදු කිරීමට අසමත්ව ඇති බවත්  වෙනත් පුද්ගලයකුගේ නිවසක මෙවැනි මරණයක් සිදු වූයේ නම් පොලීසිය ක්‍රියාත්මක වන්නේ මීට වඩා වෙනස් ආකාරයකින් බවත් ඔහු පෙන්වා දී ඇත.

එම තරුණයාගේ මරණය  සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාව ලැබීම පවා ප්‍රමාද වී තිබිණි.

එමෙන්ම වීරවංශ මහතාට එල්ල වී ඇති ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සම්බන්ධ චෝදනාවට නඩු පැවරීම ද මෙතෙක් සිදුව නොමැති වීම හා පසුගිය රාජපක්ෂ මයේ දී සිදු වූ තාජුඩීන් ඝාතනය ඇතුළු අනෙක් අපරාධ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ප්‍රමාද වීම ගැන ද සේනසිංහ මහතා දොස් පවරා ඇත්තේ සාගල රත්නායක ඇමැතිවරයාටය.

මෙහි දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කිසිවක් ප්‍රකාශ නොකර නිහඬව සිටියත් ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමන් පසුගිය දා පැවසුවේ ද මෙම කරුණම බවය.

පරීක්ෂණ කඩිනම් නොකර සිටීම ගැටලුවක් බව පෙන්වා දෙමින් සුජීව සේනසිංහ මහතාගේ විවේචනය ජනාධිපතිවරයා පිළිගෙන ඇත.

(මංජු කුමාර)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top