nsb

Nov 06, 2016

'ආබාධිත සෙබළ උද්ඝෝෂණ පිටුපස දේශපාලන අරමුණක්'

වසර දොළහට අඩු සේවා කාලයක් සහිත විශ්‍රාමික ආබාධිත සෙබළුන් පිරිසක් දියත්කර තිබෙන උද්ඝෝෂණය පිටුපස දේශපාලන උවමනාවක් ක්‍රියාත්මක වන්නේ දැයි සැකයක් පවතින බව ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම්වරයා පවසයි.

වැටුප්, දීමනා සහ දුබලතා දීමනාවට අමතරව අදාළ ආබාධිත සෙබළුන් විසින් ඉල්ලා සිටින සේවා විශ්‍රාම වැටුප ලබා දෙනුවස් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි 2017 වසරේ අයවැයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කොට තිබියදීත් මෙවැනි උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කිරීමේ අරමුණ කුමක්දැයි යන්න පැහැදිලි නොමැති බව ආරක්ෂක ලේකම් ආචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි කියා සිටියේ 'බීබීසී සිංහල' සේවය සමග සාකච්ඡාවකට එක් වෙමිනි.

විශ්‍රාම ගිය පසුවත් මාසික වැටුප

"නොවැම්බර් මාසයේ දහ වෙනිදා අයවැය ඉදිරිපත් කරනවා. මේ සඳහා වැය වන මුදල ඊට ඇතුළත් කරලා තිබෙනවා. අවුරුදු අටකට පස්සේ, 2016 වසරේ පාරට බැහැලා මේ සිදු කරන උත්සාහය පිටුපස දේශපාලන කාරණයක් තියනවද කියලා අපට හිතෙනවා," ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේය.

"පසුගිය ආණ්ඩු සමයේ මේ අය පාරට බැස්සේ නැහැනේ. ඔය කියන රණවිරුවන්ට ඔවුන්ගේ වැටුප, ආබාධිත දීමනාව ඇතුළු අවම වශයෙන් රුපියල් හැට පන්දහසක මුදලක් දැනට ගෙවමින් පවතිනවා. මේ කෙටි කාලය තුළ අදාළ කාරණය විසඳීමට ජනාධිපතිතුමා කටයුතු කරලා තිබෙනවා," ඔහු කියා සිටියේය.

තමා ආරක්ෂක ලේකම් ධුරය භාර ගන්නා විට අදාළ ආබාධිත සෙබළුන් සම්බන්ධයෙන් පැවති ගැටලු විසි අටෙන් විසි පහකට මේ වන විට විසඳුම් ලබා දී ඇති බවත් ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

"තව ප්‍රශ්න තුනයි ඉතිරි වෙලා තිබුණේ. ඒකෙනුත් දෙකකට විසඳුම් ලබා දීලා තියනවා. දැන් ඉතිරි වෙලා තිබෙන්නේ මේ අද කතා කරන සේවා විශ්‍රාම වැටුප සම්බන්ධ ප්‍රශ්නය විතරයි."

සේවා විශ්‍රාම වැටුප ලබන වසරේ සිට ලබා දෙන බව අදාළ ආබාධිත සෙබළුන්ට "දහදොළොස් වතාවක්" දැනුම් දී ඇති බවත් ආරක්ෂක ලේකම් ආචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි වැඩිදුරටත් කියා සිටියේය.


අමාත්‍යංශයෙන් නිවේදනයක්:

මේ අතර විශ්‍රාමික ආබාධිත හමුදා සාමාජිකයින් විසින් ඉල්ලුම් කරන ලබන සේවා විශ්‍රාම වැටුප් ඉල්ලීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයෙන් අද (06) නිවේදනයක් නිකුත් කර ඇත.

එහි දැක්වෙන්නේ වසර 12කට අඩු සේවා කාලයකින් ආබාධිත තත්ත්වය මත සිය කැමැත්තෙන් සේවයෙන් ඉවත් වූ ආබාධිත රණවිරුවන් ඔවුන් හට සේවා විශ්‍රාම වැටුපක් ලබාදෙන ලෙසට කරනු ලබන ඉල්ලීම 2008 වසරේ සිට පැවති ඉල්ලීමක් බවයි.

තවද එම ඉල්ලීම පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානයට ලක්ව මීට මාස 3කට පෙර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර එය නිරාකරණය කිරීමට තීරණය කර ඇති බවත්, ඒ අනුව නිසි නීතී රෙගුලාසිවලට අනුකූලව සියලු කටයුතු සම්පාදනය කර එය 2017 වසරේ අයවැය යෝජනාවට ඇතුලත් කර ඔවුන් විසින් ඉල්ලුම් කරනු ලබන සේවා විශ්‍රාම වැටුප අදාල මුදල් ප්‍රතිපාදන වෙන්කර ගැනීමෙන් පසුව 2017 වසරේ සිට ගෙවීම් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසට ජනාධිපතිතුමන් විසින් උපදෙස් ලබාදී ඇති බවයි එහි වැඩිදුරටත් දැක්වේ.

එම නිවේදනය පහතින් දැක්වේ.

abaditha

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top