Nov 07, 2016

ළමා ආරක්ෂකයේ ලිංගික අපයෝජකයෙක් ! Featured

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මාධ්‍ය සහ තොරතුරු නිලධාරියා විසින් වයඹ පළාතේ පාසල් ශිෂ්‍යයකු අපයෝජනය කර ඇති බවට එම විද්‍යාලයේ ගුරුවරයකු ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ හදිසි ඇමතුම් ඒකකය (1929) ට පැමිණිලි කර ඇත.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරන අන්තර් පාඨශාලීය විවාද තරගාවලියක් අතරතුර මෙම අපයෝජනය සිදු කර ඇති අතර ඒ සම්බන්ධ පැමිණිල්ල යොමු කර ඇත්තේ ඉකුත් ඔක්තෝබර් මස 27 වන දිනය.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියට අමතරව වයඹ පළාත් පරිවාස හා ළමා ආරක්ෂක ඒකකයට ද අදාළ පැමිණිල්ල යොමු කර ඇත.

එහෙත් මේ වනතුරු ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

ඉහළ නිලධාරීන්ගේ මැදිහත්වීමක් :

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ඉහළ නිලධාරීන්ගේ මැදිහත් වීම මත පරීක්ෂණ කටයුතු යටපත් කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත් ළමා ආරක්ෂක අධිකාරියේම ඉහළ නිලධාරියකු ළමා අපයෝජනය සිදු කිරීම නින්දාසහගත බවත් අධිකාරියේ සේවකයෝ පෙන්වා දෙති.

ජනතා විශ්වාසය කඩ කරමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මාධ්‍ය සහ තොරතුරු නිලධාරියා පාසල් ශිෂ්‍යයෙක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනී නතාෂා බාලේන්ද්‍ර මහත්මිය දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට අප උත්සාහ කළත් ඇය දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නැත.

අවස්ථා කිහිපයක් උත්සාහ කිරීමෙන් පසුව ඇය අපගේ ජංගම දුරකථනයට Sorry i cant talk right now යනුවෙන් කෙටි පණිවිඩයක් එවා තිබිණි.

(සත්හඬ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top