May 13, 2017

රංගජීවගේ ප්‍රහාරයට වෙලේ සුදා - නේවි රුවන් සම්බන්ධයි ! Featured

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඇතුළු නිලධාරීන් ඉලක්ක කර ගනිමින් පසුගිය දා එල්ලවූ වෙඩි ප්‍රහාරයට මරණ දඬුවමට නියමව සිටින ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් “වෙලේ සුදා” ගේද සහය ලැබී ඇති බවට පොලිසියට සැකමතුව ඇතැයි වාර්තා වේ.

ඔහු සිය සහය ලබාදී ඇත්තේ මේ ප්‍රහාරය දියත් කළ පාතාල නායකයකු හා මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයකු වන මධුෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධුෂ්ටය.

පොට්ටු අම්මාන්ගේ බුද්ධි උපක්‍රමවලට අනුව ප්‍රහාර එල්ල කරන්නකු සේ සැලැකෙන මධුෂ් මේවන විට මෙරටින් පලාගොස් ඩුබායි හි සැඟව සිටින බවට පොලිසිය සැකකරයි.

ඔහුට ඩුබායි වෙත පැනයන්නටද වෙලේ සුදා ආධාර කර ඇති බවටද රාවයක් පවතී.

නේවි රුවනුත් ප්‍රහාරයේ සාමාජිකයෙක් !

මෙම ප්‍රහාරය සඳහා දකුණේ පාතාලයේ මිනීමරුවකු ලෙස ප්‍රසිද්ධ නේවි රුවන් ද පැමිණ ඇති බවට පාතාල මර්දන කණ්ඩායම්වලට තොරතුරු ලැබී තිබේ.

වෙලේ සුදා 2014 නොවැම්බර් 13 වැනිදා පාකිස්තානයේ අයි.එස්.අයි. විසින් අත්අඩංගුවට ගෙන රහස් පොලිසියට භාරදී තිබිණි. කෙසේවුවද, ඔහු අල්ලා ගැනීමට මූලික ඔත්තු සපයා ඇත්තේ රංගජීව මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් බව පැවසේ.

සුදාගේ කලින් උත්සාහය

රංගජීව මහතාව ඝාතනය කිරීමට මීට පෙර ද වෙ‍ලේ සුදාගේ කුඩු බෙදාහරින කුඩු ලාලිත නැමැත්තා උත්සාහයක් ගෙන තිබේ.

කුඩු ලාලිත යෙදවූ වෙඩික්කරුවකු දෙහිවල ප්‍රදේශයේදීම රංගජීව මහතා කළ මෙහෙයුමකින් වෙඩි කා මියගියේය. ඉන් පසුව කුඩු ලාලිත මත්ද්‍රව්‍ය වැටලීමක දී රංගජීවගේ කණ්ඩායමේ ප්‍රහාරයකින් අතුරුගිරියේදී මැරුම් කා ඇත

කුඩු ලාලිත මැරුණු පසු ලාලිතගේ බිරිඳ හා පාතාලයකු එක්ව රංගජීව මහතා මරා දමන්නට කතාබහ කළ වග ද පොලිස් පරීක්ෂණ මගින් හෙළිකරගෙන තිබේ.

කුඩු ලාලිතගේ පාසල් මිතුරකු වූ ‍පොලිස් කොස්තාපල්වරයකු මාර්ගයෙන් ‍පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අසේල නමැති කොස්තාපල්වරයකු එක්කරගෙන තොරතුරු ලබා ගන්නට ලාලිත කළ මෙහෙයුමක් හෙළි වීමෙන් පසුව අසේල නැමැති කොස්තාපල්වරයා ඉතාලියට පැණගොස් ඇති බවද කියවේ.

මධුෂ් මීට පෙරත් පොලිස් කණ්ඩායමක් මරන්න හදලා !

මාකඳුරේ මධුෂ් මීට පෙරත් ‍පොලිසිය රවටා ‍පොලිස් කණ්ඩායමක් මරා දමන්නට උත්සාහ කර ඇති බව පැවසේ.

තමන් එවූ අවි ආයුධ තොගයක් ගැන තොරතුරු හෙළිකර එම අපරාධය සිදු කිරීමට සැලැසුම්කර තිබී ඇත.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ‍පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු කණ්ඩායමක් මධුෂ්ගේ ගිනි අවි ගොඩගන්නට දකුණට ගොස් ඇති අතර ඒ යන අතරතුරේ ‍පොලිස් කොස්තාපල්වරයකුට රුපියල් ලක්ෂ දෙකක් දෙන ‍පොරොන්දුව මත ඔහුගේ ජංගම දුරකථනය ලබාගෙන අවි ආයුධ සොයා පැමිණෙන ‍පොලිස් කණ්ඩායම වෙත පහර දෙන්නට සැලසුම් කර තිබී ඇත.

කෙසේවුවද එවර පොලිස් කණ්ඩායමේ ජීවිත බේරී ඇත්තේ අවි සොයාගන්නට පෙර ‍පොලිස් කණ්ඩායම ගැන ඔත්තු බලන්නට ආ මධුෂ්ගේ ඔත්තුකරුවකු ත්‍රස්ත විමර්ශන කණ්ඩායමට කොටු වූ නිසාය.

අවසානයේ ඔත්තුකරු රැගෙන විත් ප්‍රශ්න කිරීමේ දී ඇතැම් ‍පොලිස් නිලධාරීන් හා කුඩු ජාවාරම්කාරයින් අතර ඇති සම්බන්ධතාවයන් ද හෙළිව තිබේ.

ඔත්තුව ආවේ පොලිසියෙන්ද සැකයක් !

මේ අයුරින් මාකඳුරේ මධුෂ් ‍පොලිස් පරීක්ෂක රංගජීව මෙහෙයුම සඳහා එන ආකාරය මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියකුටම මුදල් ගෙවා තොරතුරු ලබාගත්තා ද යන සැකය ද පොලිස් විමර්ශනවලදී මතුව ඇතැයි පැවසේ.

මත්ද්‍රව්‍ය ජාවාරමේ මහ මොළකරුවකු වන ජපන් චූටි නමැත්තාගේ සුවිසල් මන්දිරයක් ආසන්නයේ එවැනි ජාවාරම්කරුවන්ගෙන් යැපෙන නිලධාරින් දෙදෙනකුට කඩවත ප්‍රදේශයේ නිවාස දෙකක් මිලදී ගෙන දී ඇතැයි දැනගන්නට තිබේ.

රංගජීව, වෙ‍ලේ සුදාට අමතරව කුඩු තමිල්, සේල් වසන්ත වැනි අයද කොටුකර ගැනීමට සමත් වූ නිලධාරියකු සේ සැලැකේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top