nsb

Nov 07, 2016

ආබාධිත හමුදා සාමාජිකයින්ට කඳුළු ගෑස් ප්‍රහාරයක් (ජායා)

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූ ආබාධිත හමුදා සාමාජිකයින් පිරිසකට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබිය.

පොලිසිය පැවසුවේ විරෝධතාකරුවන් විසුරුවා හැරීමට මෙම කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කළ බවයි.

මෙම විරෝධතාකරුවන් විරෝධය පාමින් ජනාධිපති ලේකම් කාර්යාලය ආසන්නයට පැමිණීමට කටයුතු කර තිබුණ අතර, එම තත්ත්වය පාලනය කිරීමට පොලිසිය මෙම පියවර ගත් බව වාර්තාවේ.

පොලිසිය හිස් අතින් එයි :

ආබාධිත හමුදා සාමාජිකයින්ගේ විරෝධතා පා ගමනක් සංවිධානය කර ඇති හෙයින්, එය අත්හිටුවන්න ලෙස වාරණ නියෝගයක් ඉල්ලා පොලීසිය අද පෙරවරුවේ කළ ඉල්ලීමක් කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබිය.

එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරමින් මහේස්ත්‍රාත්වරිය පෙන්වා දී ඇත්තේ එවැනි වාරණ නියෝගයක් නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

විරෝධතා පා ගමන හේතුවෙන් මහජනතාවට හිරිහැරයක් සිදුවන්නේ නම් ඒ සම්බන්ධයෙන් පොලීසිය වගබලා ගතයුතු බව මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් පෙන්වා දී ඇත.

'දේශපාලන අරමුණක්'

මේ අතර ආබාධිත රණවිරුවන් මුහුණ දෙන විශ්‍රාම වැටුප් ගැටලුව සම්බන්ධයෙන් මහා සංඝරත්නය සමග එක්ව ජනතාව දැනුවත් කිරීමේ දැවැන්ත ව්‍යාපාරයක් ආරම්භ කරන බව රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය පවසයි.

එහි සභාපති කෝප්‍රල් යූ.ඞී. වසන්ත පැවසුවේ ඊට සිවිල් සංවිධාන නියෝජිතයන්ගේද සහාය ලබාගන්නා බවයි.

කෙසේවුවද ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා පවසන්නේ, වසර දොළහට අඩු සේවා කාලයක් සහිත විශ්‍රාමික ආබාධිත සෙබළුන් පිරිසක් දියත්කර තිබෙන උද්ඝෝෂණය පිටුපස දේශපාලන උවමනාවක් ක්‍රියාත්මක වන්නේ දැයි සැකයක් පවතින බවයි.

වැටුප්, දීමනා සහ දුබලතා දීමනාවට අමතරව අදාළ ආබාධිත සෙබළුන් විසින් ඉල්ලා සිටින සේවා විශ්‍රාම වැටුප ලබා දෙනුවස් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි 2017 වසරේ අයවැයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කොට තිබියදීත් මෙවැනි උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කිරීමේ අරමුණ කුමක්දැයි යන්න පැහැදිලි නොමැති බව ආරක්ෂක ලේකම් ආචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ 'බීබීසී සිංහල' සේවය සමග සාකච්ඡාවකට එක් වෙමිනි.

සබැඳි පුවත්:

ආබාධිත සෙබළ උද්ඝෝෂණ පිටුපස 'දේශපාලන අරමුණක්'

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top