nsb

May 18, 2017

කැබිනට් එළුවාගේ සංශෝධන අහවල් එක වැටෙන්නට පෙර..

 පොලිසියේ ඉහළ නිලධාරියකු වරදක් කළ බව දැනගත් විගස සිදු කෙරෙන්නේ, ඒ නිලධාරියාව වෙනත් පොලිසියකට මාරු කිරීමයි.එය මරු විසඳුමකි. අපි මෙහෙම හිතමු. ඒ නිලාධාරියා කළ වරද, චූදිතයකුට එල්ලා පහර දීමයි.  එය ඔහු `ජනතා සේවය` සලසන විදිහයි. එහෙමත් නැත්නම්, `ජනතා සේවය` ගැන ඔහු දරන අදහස, එළියට එන විදිහයි.
දැන් මේ සිද්ධිය වූයේ කොට්ටාව පොලිසියේ යැයි සිතමු. ඔහු එල්ලා පහර දුන්නේ කොට්ටාවේ මිනිසකුටය. ඊළඟට ඔහු `දඬුවම් මාරුව` ලබන්නේ, වැල්ලවාය පොලිසියට නම්, වැල්ලවායේද ඉන්නේ මිනිසුන් මිස අඟහරු ජීවීන් නොවේ. වැල්ලවායේද තිබෙන්නේ, ශ්‍රී ලංකා පොලිසියකි. `දඬුවම් මාරුව` කියන එක ලැබුවා කියා, ඔහුගේ තනතුර, පඩි නඩි හෝ පහසුකම් කිසිවක් පහත හෙළෙන්නේ නැත. ඒක ඇත්තටම දඬුවමක් නොව, ඔහු දඬුවමක් ලැබුවා කියා හිත හදාගන්නට අපට බස්සන බෝලයකි. ``හොඳ වැඩේ ඕකට ! ඌව මාරු කරලා වැල්ලවායට`` කියා සිඟිති ආතල් එකක් ගැනීමේ `චාන්ස් එක` අපට ලැබේ. එහෙම තත්වයක් තුළ, `ජනතා සේවය` ගැන කොට්ටාවේදී ඔහු සිතූ විදිහ වැල්ලවායේදී වෙනස් වේ යැයි සිතිය හැකිද ? වැල්ලවායේ මිනිසකු ඔහු අතින් එල්ලා පහරකෑමට ලක් වීම `මැටර් ඔෆ් අ ටයිම්` එකක් හෙවත් කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි.
 
මේක මේ විදිහටම කැබිනට් මණ්ඩලයට ගළපා බලන්නට අපට සිතුණේ, `කැබිනට් රී ෂෆල්` එක හෙවත් කැබිනට් සංශෝධනය දැන් වෙයි දැන් වෙයි කියමින් බල බල සිටින ලංකා වැසියන් දුටු විටය. ඇත්තටම, සංශෝධනය කියනවාට වඩා `ෂෆල් එක` යන යෙදුම ඊට මැනවින් ගැලපේ. ඇයි එහෙම කියන්නේ ? `මධුර` ඔන්ලයින් ඩික්ෂනරියේ `shuffle` යන ඉංග්‍රීසි වචනයේ තේරුම ලෙස එන්නේ මෙන්න මේවාය. `අවුල් කරනවා`, `ආසනයෙහි නොසන්සුන්ව සිටිනවා`, `කකුල් අද්දවාගෙන යනවා`, `කඩදාසි කුට්ටම අනනවා`, `කලවම් කරනවා`, `කලවම් කිරීම` සහ `කෙළින් නොකියා මඟඅරිනවා` යන්නය. කැබිනට් ෂෆල් යන්නටත් මේ සියල්ලම හොඳින් ගැලපෙනවා නොවේද? මේ හදන්නේ පරණ කාඩ් කුට්ටමම ආයෙත් අනන්නයි. ඉස්සෙල්ලා බෙදිච්ච කාඩ්ම වෙන වෙන තැන්වලට බෙදන්නටයි. කෙළින් නොකියා මග හැර, කකුල් අද්දවාගෙන යමින්, ආසනයෙහි නොසන්සුන් වෙමින්, කෙරෙන්නට යන්නේ පරණ කඩදාසි කුට්ටම ඇනීම විතරයි. කොට්ටාවේ මිනිසකුව එල්ලා පහරදුන් පොලිස් නිලධාරියා වැල්ලවායට මාරු කිරීමට වඩා දෙයක් මෙතන නැත.
 
දූෂිත යැයි කියන ඇමතිවරුන් වෙනත් අමාත්‍යංශවලට මාරු කළ පසු, ඒ ගොල්ලෝ ඒ අලුත් අමාත්‍යාංශවල හොඳට වැඩ කරයිද ? ඒ ගොල්ලන්ගේ ඇමතිධුරය නමැති තනතුර හා පඩි නඩි හෝ පහසුකම් කිසිවක් පහත හෙළෙන්නේත් නැත්නම් ඒ දඬුවම් මාරුවෙන් වැඩක් නැත. එයින්ද ලැබෙන්නේ, ``හොඳ වැඩේ ඕකට ! අරූව වෙන එකකට මාරු කරලා`` කියා සිඟිති ආතල් එකක් ගැනීමේ අවස්ථාව පමණි. හැබැයි මෙහෙම අහන්නට යමකුට පුළුවන. ``කොට්ටාවෙ එක්කෙනා වැල්ලවායට නැතුව කුරුඳුවත්තට මාරු කළොත්, ඒ කියන්නේ මුදල් ඇමති බුද්ධ ශාසන ඇමති වගේ කරොත් පරණ හොරකම් කරන්නට පුළුවන්ද ?`` ඔව්, ඒකෙත් පොඩි ඇත්තක් තිබේ. ඒ වගේම, එක්සත් ජාතීන්ගේ වෙසක් උළෙල, බුද්ධ ජයන්තිය වගේ එකක් සෙට් වුණොත්, `කුරුඳුවත්ත පොලිසියේ එල්ලලා ගැහිල්ලත්` හොඳින් බලාගත හැකිය. කෙසේ වෙතත් අවසාන වශයෙන් කිව යුත්තේ, කැබිනට් එළුවාගේ සංශෝධන අහවල් එක වැටෙන තුරු බලා සිටීම තේරුමක් නැති වැඩක් කියන එකය.

`සිස්ටම්` එක වෙනස් නොවී කුට්ටම `ෂෆල්` කෙරුවාට පළක් නැත. මොකද ඔක්කොම ජෝකර් කොළය. අනික මේ ජෝකර්ලා කරන්නේ ජනතාවගේ ඇස් රතුවෙන විහිළුය. `සිස්ටම්` එකේ ඉන්න අය `සිස්ටම්` එක වෙනස් කරයි කියා හිතන්නට නොහැකිය. එහෙයින්, අඩුම ගානේ, එකම ජෝකර් කොළ ටික අනනවාට වඩා, ඔය පසුපෙළක ඉන්න එකෙකුට වැඩක් කරන්නට පුළුවන්ද කියා පරීක්ෂා කර බලන්නට හෝ `චාන්ස් එකක්` දෙන එක වටී.

 - පවන් සිතුමිණි ප්‍රනාන්දු
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top