Nov 07, 2016

ඇලෝසියස්ගේ වත්කම් ගැන ආණ්ඩුවටත් සැකයිලු ! Featured

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑනා වන 'පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ' අර්ජුන් ඇලෝසියස් මහතාගේ වත්කම් හා ඉපැයීම් සම්බන්ධව කඩිනම් විමර්ශනයක් සිදු කිරීම සඳහා බල කළ යුතු බවට ආණ්ඩුවේම පාර්ශ්ව කිහිපයක් සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වෙයි.

එහි දී ඔවුන් විශේෂ අවධානයක් යොමු කර ඇත්තේ බැඳුම්කර සිදුවීම සම්බන්ධව එල්ල වී ඇති චෝදනාවලින් ඔහුව නිදහස් වීමත්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම දිගින් දිගටම මූල්‍ය ආයතනවල කොටස් හිමිකාරීත්වය වර්ධනය කර ගැනීමත් යන කාරණා වෙතය.

මෙහි දී පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම, සෙන්ට්‍රල් ෆිනෑන්ස් හි රුපියල් බිලියන 1.6 ක් ආයෝජනය කිරීම, NDB හි කොටස් 10% ක් මිලදී ගැනීම පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති බවත් ඊට අදාළ තම මතය ජනාධිපතිවරයා වෙත ඍජුව පැමිණිලි කිරීමට ද ඔවුන් එකඟත්වයකට පැමිණ ඇති බවත් වාර්තා වෙයි.

අදාළ සාකච්ඡාවේ දී ඇති කරගත් එකඟතා මත ඉදිරියේ දී මෙම පාර්ශ්වය මූල්‍ය උපදේශකවරුන් හා නීතිඥයන් මුණගැසී බැඳුම්කර සිදුවීමේ සිට මූල්‍ය සමාගම්වල කොටස් අත්පත් කර ගැනීම සම්බන්ධව ඇති නෛතික අවස්ථා පිළිබඳ උපදෙස් ගැනීමට ද නියමිත අතර ඒ වෙනුවෙන් මේ වන විටත් පාර්ශ්ව කිහිපයක් සමඟ සාකච්ඡා ද සිදු කර ඇති බව වාර්තා වෙයි.

දැවැන්ත මාධ්‍ය ජාලයක් :

එසේම මේ වන විට අර්ජුන් ඇලෝසියස් මහතා දැවැන්ත මාධ්‍ය ජාලයක හිමිකරුවකු වීමට සැලසුම් කර ඇති බවත් එය තමන්ට ඉදිරියේ දී බරපතළ දේශපාලන අභියෝගයක් විය හැකි ආකාරයත් මෙම පාර්ශ්වය සාකච්ඡා කර ඇත.

මේ අතර ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ බැඳුම්කර සිදුවීමට අදාළව නිසි විමර්ශනයක් සිදු කර අදාළ චෝදනාවෙන් ආණ්ඩුව නිදහස් කරගත යුතු බව ජනාධිපතිවරයාගේ ද ස්ථාවරය වී ඇති බවය.

ඒ පිළිබඳව ජනාධිපතිවරයා මහරගම ප්‍රදේශයේ පැවැති පක්ෂ ප්‍රවර්ධන කටයුත්තක දී දැඩිව අවධාරණය කර සිටි බවත් බොහෝ විට ඉදිරියේ දී මේ පිළිබඳ විමර්ශනයක් සිදු වනු ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

නීති විරෝධී නැහැ - තවමත් ගනුදෙනුවේ:

'පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගම' මූල්‍ය සමාගම්වල කොටස් මිලදී ගැනීම මෙන්ම බැඳුම්කර නිකුත් කිරීම හරහා ලාභ ලැබීම සම්බන්ධව අප මූල්‍ය විශේෂඥයන් වෙතින් කරුණු විමසීමේ දී ඔවුන් පෙන්වා දුන්නේ ප්‍රාථමික ගැනුම්කරුවකු ලෙස 'පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගම' මිලදී ගත් බැඳුම්කර ද්විතීයික ගැනුම්කරුවන් අතර විකුණා ලාභ ලැබීම කොහෙත්ම නීති විරෝධී කටයුත්තක් ලෙස සැලකිය නොහැකි බවය.

එසේම බැඳුම්කර නිකුතුව බැලූ බැල්මට නීත්‍යනුකූල බවත් යම්කිසි තාක්ෂණික ගැටලුවක් මතුව ඇත්නම් එය රජයේ පාර්ශ්වයේ ගැටලුවක් මිස ආයෝජනය කළ සමාගමේ ගැටලුවක් නොවන බවත්ය.

මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුවලදී වංචාවක් සිදු කර ඇතැයි කියන 'පර්ෆැචුවල් ට්‍රෙෂරීස් සමාගම' මේවනවිටත් මහ බැංකුව සමග ගණුදෙනු සිදු කරමින් සිටින බව මහ බැංකුව විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයකින් අනාවරණය වේ.


අදාළ නිවේදනය :

notice 20161104s

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top