nsb

Nov 08, 2016

‘දකුණේ ප්‍රතිචාරය සාධනීය නෑ’ -විග්නේස්වරන් (වීඩියෝ)

සම්මුතියෙන් කටයුතු කරන්නට සූදානම් වන අවස්ථාවල දී දකුණ ප්‍රතිචාර දක්වා ඇත්තේ දෙමළ ජනතාව යටපත් කර ගැනීමේ අරමුණ ඇතිව බව උතුරේ මහ ඇමැතිවරයා යාපනයට ගොස් සිටින එක්සත් ජාතින්ගේ කටයුතු සහ විදේශ කටයුතු භාර බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අමාත්‍යවරියට පවසා ඇත.

සාමය වෙනුවෙන් ඉදිරි පියවර තැබීමට නම් සම්මුතිකාමී ලෙස දෙපාර්ශවයම කටයුතු කරන ලෙස ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදෙන නියෝජ්‍ය අමාත්‍ය ජොයිස් ඒන්ලේ සාමිවරිය උතුරු පළාත් සභා නියෝජිතයන් හා ප්‍රකාශ කළ අවස්ථාවේ මේ බව පහදා දුන් බව මහ ඇමැති සීවී විග්නේස්වරන් මහතා මාධ්‍යවේදීන්ට කියා සිටියේය.

“අපි සම්මුතියක් වෙනුවෙන් පෙරට ආ හැම අවස්ථාවේම දකුණ අපේ සුවිශේෂ අනන්‍යතාව හා අයිතිවාසිකම් යටපත් කරන්නට වීරිය කරනවා,” යි ඔහු පළමු වතාවට ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදෙන බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අමාත්‍යවරිය හා පවසා තිබේ.

ජාත්‍යන්තර මැදිහත්වීම :

ජාත්‍යන්තර මැදිහත්වීමකින් තොරව යුද්ධයේ විඳින්නට සිදුවූ පීඩාව සම්බන්ධයෙන් දෙමළ ජනතාවට කිසිදු යුක්තියක් ඉටු නොවන බව මහ ඇමතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී ගිවිසගත් පරිදි යුද අපරාධ සම්බන්ධයෙන් විභාග කිරීමට ජාත්‍යන්තර සහාය ලබාගැනීමට ශ්‍රී ලංකාව කිසිදු පියවරක් ගෙන නැති බවත් මහ ඇමැති විග්නේස්වරන් මහතා නියෝජ්‍ය විදේශ අමාත්‍යවරිය හා ප්‍රකාශ කර ඇත.

දෙමළ ජනතාවටත් ඔවුන්ගේ ඉතිහාසයටත් ගරුකරන සාමකාමී අනාගත ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අගතීන් අත්හැර සහයෝගයෙන් කටයුතු කරන අයට ඒන්ලේ සාමිවරිය මාධ්‍යවේදීන් හමුවේ සිය ප්‍රණාමය පල කොට සිටියාය.

යුද්ධයේදී කෙරෙන ලිංගික ප්‍රචණ්ඩතා වලක්වා ලීම සඳහා බ්‍රිතාන්‍ය අගමැතිවරියගේ නියෝජිතවරියද වන ඒන්ලේ සාමිවරිය හට යාපනයේ යුද වැන්දඹුවන් මුහුණ පා සිටින පීඩාකාරී තත්වයද මහ ඇමතිවරයා විසින් විස්තර කොට තිබේ.

ලිංගික ප්‍රචණ්ඩතා :

බ්‍රිතාන්‍ය මුදලින් පිහිටුවන ලද යාපනය පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශය දැක බලා ගැනීමට සාමිවරිය ගොස් ඇත.

එහි අරමුණ ලිංගිකත්වය පදනම් කොටගෙන කෙරෙන ලිංගික ප්‍රචණ්ඩතා සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ කටයුතු වැඩි දියුණු කිරීම යයි සාමිවරිය පවසයි.

මීට අමතරව බ්‍රිතාන්‍යය විසින් ශ්‍රී ලංකාවට වෙන්කළ පවුම් හැට හය ලක්ෂයෙන් තුනෙන් පංගුවක් බිම් බෝම්බ උගුල්ලන 'හේලෝ පදනම'ට ලබාදීමටත් තීරණය කළ බව ඇය යාපනය සංචාරයේදී පවසා ඇත.

පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍යනායක සමුළුව 2015 දී මෝල්ටාවේ පැවැත්වෙද්දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේ හිටපු බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා එම මුදල පොරොන්දු වී තිබුනේ සංහිඳියාව, හමුදා ප්‍රතිසංස්කරණ සහ උන්හිටි තැන් අහිමි වුවන් වෙනුවෙනි.

බදාදා දක්වා ශ්‍රී ලංකාවේ ගත කරන ජොයිස් ඒන්ලේ සාමිවරිය අගමැතිවරයා, විදේශ අමාත්‍යවරයා සහ විපක්ෂ නායකයා මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයන්ද මුණ ගැසෙනු ඇති බව බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

(radiogagana)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top