Nov 09, 2016

මහා පරිමාණ දූෂණ විභාගයට විශේෂ අධිකරණයක් ! Featured

අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් වෙත කරන ගෞරවයක් වශයෙන් මහා පරිමාණ දූෂණ නඩු විභාග කරනුවස් විශේෂ අධිකරණයක් පිහිටුවන ලෙස සාධාරණ සමාජයක් සඳහාවන ජාතික ව්‍යාපාරය ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගෙන් ඉල්ලයි.

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් අපවත් වී වසරක් පිරීම නිමිත්තෙන් ඊයේ (08) පැවති ගුණ සැමරුම් උළෙල අමතමින් එම ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා අවධාරණය කළේ දූෂණවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතනවලට වැඩි බලතල දිය යුතු බවය.

"නීතිය යුක්තිය මුදල් ඇති කෙනාට හා නැති කෙනාට දෙවිදිහක්. ප්‍රාථමික පොලිස් ක්‍රමය නවීන පොලිස් ක්‍රමයක් බවට පත්කිරීමට කටයුතු කළ යුතුයි. දූෂණ වංචා මැඩලීමට නීතිපති දෙපාර්තමේන්තුවේ සංයුතිය දෙගුණයක් කළ යුතුයි. අල්ලස් හෝ දූෂණ මැඩපැවැත්වීමට කොමිසමක් පිහිටුවිය යුතුයි. හොංකොං දුෂණ පිටුදැකීමේ ආයතනය මෙන් එය බලතල සහිත විය යුතුයි." යැයි මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

'වචන පමණක් ප්‍රමාණවත් නැහැ'

පැවති ආණ්ඩුවේ නායකයන්ට අවශ්‍ය ආකාරයට අධිකරණ කටයුතු ක්‍රියාත්මකවන බවට චෝදනා කරන මහාචාර්යවරයා, යහපාලනය ස්ථාපනය කරනුවස් අධිකරණයේ වත්මන් තත්වය පිළිබඳ සොයා බලා ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කිරීම පිණිස ජනාධිපති කොමිසමක් පත් කළ යුතු බව පෙන්වා දෙයි.

පැවති ආණ්ඩුවේ සිටි ප්‍රධානීන්ට එල්ල වන දූෂණ චෝදනා සම්බන්ධයෙන් ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත කණගාටුදායක මට්ටමක පවතින බවත් මහාචාර්ය සරත් විජේසූරිය මහතා පැවසීය.

ගතානුගතික තත්වයෙන් බැහැර වී බහුතරයකට එකඟ විය හැකි පරිදි කටයුතු කරන අතරම රටේ සියලු ජාතීන් සමගි සම්පන්න කිරීමේ වගකීම ආණ්ඩුව සතු බව කියා සිටි මහාචාර්යවරයා, "ජාතික හා ආගමික අන්තවාදය දෙපසට කිරීම ආණ්ඩුවේ වගකීමයි. ඒ සඳහා කැපවන ලෙස ප්‍රධාන පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා." යනුවෙන් කියා සිටියේය.

"ආණ්ඩුව සමග ගැටුමක් නැහැ. යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති කළ යුතුයි. වචන සංග්‍රය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ජනවාරි 8 පෙරළිය යහපත් දේශපාලන තත්වයක් ඇති කිරීමයි. ඒ සඳහා ආණ්ඩුවේ කැපවීම නොපෙන්වීම තුළින් අර්බුදයක් දක්වා ගමන් කිරීම වළක්වන ලෙස ප්‍රධාන දේශපාලනඥයින් දෙදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා." යනුවෙන් සාධාරණ සමාජයක් සඳහාවන ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ජනපති ප්‍රතිචාරය

අනුස්මරණ සභාව අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියා සිටියේ මහා පරිමාණ දූෂණ නඩු විභාග කරනුවස් විශේෂ අධිකරණයක් පිහිටුවීම පිළිබඳ සාකච්ඡා කොට ඇති බවය.

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් අපවත් වී වසරක් පිරීම නිමිත්තෙන් පැවති ගුණ සැමරුම් උළෙල සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක ආර් සම්බන්ධන් සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු සිවිල් ක්‍රියාධරයන් රැසක් සහභාගී වී සිටියහ.

(බිබිසි සංදේශය)

(ඡායාරූප : චන්දන පෙරේරා )

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top