nsb

Nov 09, 2016

ජාතික නිවාස අධිකාරියේ සභාපතිගේ නාඩගමක් එළිවෙයි ! Featured

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යඅධිකාරීවරයාව (තොරතුරු) සිටි ධර්මශ්‍රී කාර්යවසම් මහතාගේ වැඩතහනම්කර ඇතැයි වාර්තා වේ.

එහි සභාපතිවරයා වන ලක්විජය සාගර පලංසූරිය මහතා විසින් මේ වැඩතහනම් කිරීම සිදු කර ඇති අතර ධර්මශ්‍රී මහතාගේ වැඩතහනම් කිරීමට කිසිදු නිෂ්චිත චෝදනාවක් ඉදිරිපත්කර නොමැති බවද ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

ධර්මශ්‍රී මහතා සම්බන්ධයෙන් දැනට බරපතල විශමාචාර ක්‍රියා අනාවරණය වී ඇති නිසා ඔහුගේ වැඩ තහනම් කරණ බව සටහන්කරමින් පසුගිය මස 25 වැනිදා ඔහුට ලිපියක් ලබාදී මේ වැඩ තහනම් කිරීම සිදුකර ඇත.

කෙසේවුවද, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලංසූරිය මහතාගෙන් දුරකථනයෙන් විමසීමක් කළ අතර ඒ මහතා තමා උත්සවයක සිටින බැවින් තවත් පැයකින් පමණ නැවත ඇමතුමක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළේය.

පසුව අප ඔහු සම්බන්ධකර ගැනීමට දුරකථන ඇමතුම් කිහිපයක් ලබාදුන්නද, ඔහු ඇමතුමට පිළිතුරු නොදී එය විසන්ධි කළේය.

රූපවාහිනී නාලිකාවට ඉන්වොයිස් නැතුව සල්ලි දෙන්න කියලා

ධර්මශ්‍රී මහතා අදාළ තනතුරෙන් ඉවත් කිරීමට ආසන්නම හේතුව මහල් නිවාස සංකීර්ණයක පූර්ව ප්‍රචාරක දැන්වීම් කිහිපයක් සඳහා ලදු පතක් නොමැතිව රූපවාහිනී නාලිකාවකට මුදල් ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීමක් පැහැර හැරීම බව එම අධිකාරියේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

නිධාන කතාව

ධර්මශ්‍රී හා එහි සභාපති පලංසූරිය මහතා අතර කලක පටන් තිබූ ආරවුලක් මේ හදිස්සි වැඩතහනමට හේතුව බවද මේ අතර රාවයක්ව පවතී.

වත්මන් සභාපති ලක්විජය සාගර පලංසූරිය මහතා 2010 වසරට පෙර සිදු කළ රැකියාව වන්නේ ධර්මශ්‍රී මහතා වැඩතහනමට ලක්වීමට පෙර කළ රැකියාවමය.

පලංසූරිය මහතා 2010 වසරේ දෙසැම්බරයට පෙර කළ රැකියාව වූයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යඅධිකාරීවරයා (තොරතුරු) ලෙස කටයුතු කිරීමය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සියලුම ප්‍රචාරන කටයුතු සිදුකිරීමේ බලයලත් පුද්ගලයා නියෝජ්‍ය සාමාන්‍යඅධිකාරීවරයා (තොරතුරු) වේ.

පලංසූරිය මහතා එම ධූරයේ කටයුතු කරන සමයේදී එහි ප්‍රචාරණ කටයුතු සියල්ලක්ම පාහේ ලබාදී ඇත්තේ පියරත්න හේවා බැට්ටගේ නැමැති අයට සම්බන්ධකම් ඇති සමාගම් තුනක් සඳහාය.

ඒ හෙරිටේජ් හවුස්, පියරත්න හේවා බැට්ටගේ ඇසෝසියේට් හා පැක් (Pace) ප්‍රින්ටර්ස් යන ඒවාටය.

පිළිගත් ටෙන්ඩර් පටිපාටියට අනුව ඕනෑම ටෙන්ඩරයකට ලංසු තැබීම් තුනක් සිදුවේ. පලංසූරිය මහතා එම ධූරයේ කටයුතුකරන සමයේ අදාළ ලංසු තැබීම් තුනම සිදුකර ඇත්තේ බැට්ටගේ නැමැත්තාගේ හෙරිටේජ් හවුස්, පියරත්න හේවා බැට්ටගේ ඇසෝසියේට් හා පැක් (Pace) ප්‍රින්ටර්ස් යන ඒවාටය.

ඒ අනුව එකළ හැම විටම අදාළ ටෙන්ඩර් ලබාගෙන ඇත්තේ බැට්ටගේ මහතා සතු ආයතන තුනෙන් එකකට බව පැවසේ.

පලංසූරිය මහතා කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස උසස්වීමක් ලැබීමෙන් පසුව නියෝජ්‍ය සාමාන්‍යඅධිකාරී (තොරතුරු) යන තනතුරටපත් ධර්මශ්‍රී මහතා බැට්ටගේ නැමැත්තාගේ ආයතනවලින් තොරව ටෙන්ඩර් ලබාදීම ද මේ හදිස්සි වැඩතහනමට හේතුවක් බව එම අධිකාරියේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

- කැළුම් ශිවන්ත

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top