Nov 09, 2016

ජයග්‍රාහකයාගේ කථාව !

ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් දුරකතනයෙන් අමතා සිය පක්ෂය ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් ශුභාශිංසන පිරිනැමූ බව ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ජය ලබා සිටින රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

"මට දැන් රාජ්‍ය ලේකම් ක්ලින්ටන්ගෙන් දුරකතන ඇමතුමක් ලැබුණා. අපේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ඇය අපට සුබ පැතුවා. ඉතාමත් දුෂ්කර මැතිවරණ සටනක යෙදුණු ඇයට සහ ඇයගේ පවුලේ සාමාජිකයන් වෙත මම සුබ පැතුවා. ඇය ඉතාමත් තදින් සටන් කළා." යැයි ඔහු සිය ආධාරකරුවන් අමතමින් පැවසීය.

"හිලරි ඉතාමත් දීර්ඝ කාලයක් තිස්සේ කැප වී වැඩ කළ අයෙක්. අපේ රට වෙනුවෙන් ඇය කළ සේවය වෙනුවෙන් අප ඇයට කෘතඥ විය යුතුයි. මම ඉතාමත් විශ්වාසයෙන් ඒ බව කියා සිටිනවා. සියලු බෙදීම් පසෙකලා ඇමරිකානුවන් සියලු දෙනාම ඒකට එක්විය යුතු කාලය එළඹිලා තිබෙනවා."

එක් ජාතියක් වශයෙන් එකමුතු වීමට :

"රට පුරා විසිරී සිටින රිපබ්ලිකන්, ඩිමොක්‍රටික් සහ ස්වාධීන පක්ෂවලට අයත් සියලු දෙනා එක් ජාතියක් වශයෙන් එකමුතු වීමට කාලය පැමිණ ඇති බව මම කියා සිටිනවා. ඇමරිකානුවන් සියලු දෙනාගේම ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරන බවට මම ප්‍රතිඥා දෙනවා. එට මට ඉතාමත් වැදගත්." යැයි හෙතෙම පැවසිය.

ගෙවීගිය ජනාධිපතිවරණ ව්‍යාපාරය පිළිබඳ සිහිකැඳවූ ට්‍රම්ප් "අතීතයේ මට සහාය නොදුන් පිරිස් වෙත මම ළඟා වෙනවා. මට ඔබේ මග පෙන්වීම සහ සහාය අවශ්‍යයි. අපේ රට එක්සත් කරන්න අපට එකට වැඩ කළ හැකියි. මම මීට පෙර සඳහන් කළ ආකාරයට අපේ ඡන්ද සටන මැතිවරණ ව්‍යාපාරයක්ම පමණක් නොවෙයි, මේක රටට ආදරය කරන පැහැබර අනාගතයක් බලාපොරොත්තු වන දස ලක්ෂ ගණනක් මහන්සි වී වැඩ කරන ජනතාවගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨ ව්‍යාපාරයක්. " යනුවෙන් ද කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් අවධාරණය කරමින් පැවසුවේ, "මේ ව්‍යාපාරය තුළ සිටින සියලු ජාතීන්, ආගම් සහ විවිධ ඇදහිලි සහ විශ්වාසයන්ට අයත් ඇමරිකානුවන් ජනතාවට සේවය කිරීම අපේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙනවා. අපි එය ඉෂ්ට කරනවා. එකට එක් වී වැඩ කිරීමෙන් අපි ජාතිය ගොඩ නැගීමේ හදිසි කාර්යය ආරම්භ කරනවා. අපි ඇමරිකානු සිහිනය නැවත ගොඩනගනවා,"යනුවෙනි.

(බිබිසි සංදේශය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top