Nov 10, 2016

උතුරු නැගෙනහිර පන්සල්වලට කෝටි ගණනක ‘චීන සල්ලි’ Featured

උතුරු නැගෙනහිර විහාරස්ථාන සියයක් නගා සිටුවීම සඳහා රුපියල් කෝටි දෙකකට වැඩි මුදලක් වැය කිරීමට රජය තීරණය කර ඇත.

චීනයෙන් ලැබුණු අරමුදලක් වියදම් කොට වැසිකිළි – කැසිකිළි පහසුකම් වැඩි දියුණු කිරීමට තීරණය කරන ලද බව රජය බ්‍රහස්පතින්දා දැනුම් දුන්නේ  කැබිනට් මණ්ඩල තීරණ ප්‍රකාශයට පත් කරමිනි.

චීනයේ ග්වාන්දූන් නම් ප්‍ර‍දේශයක බෞද්ධ සංගමයේ සභාපති  මින්ග් ෂින් නම් හිමිනමක් විසින් පරිත්‍යාග කරන ලද රුපියල් මිලියන 20.24 ක මුදල ඒ සඳහා යොදා ගැනීමට බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන බව රජය කියා සිටී.


දායකයන් සීමිතයි :
රජය මෙවැනි තීරණයක් ගෙන ඇත්තේ, දායකයන් නොමැති උතුරු නැගෙනහිර ප්‍රදේශවල රාජ්‍ය අනුග්‍රහයෙන් කෙරෙන බෞද්ධ ඉදිකිරීම් අත් හිටුවන ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලා සිටියදීය. 

“එලුග තමිල්’ දෙමළ පිබිදීම උද්ඝෝෂණ ව්‍යාපාරය සැප්තැම්බරයේ පැවැත්වූ තම ආරම්භක රැළියේ ඉදිරිපත් කළ ප්‍රධාන ඉල්ලීමකින් ප්‍රකාශයට පත් වුනේ බෞද්ධ ජනාවාස නොමැති ප්‍රදේශ වල රාජ්‍ය හා හමුදා අනුග්‍රහයෙන් විහාර සහ ප්‍රතිමා ඉදිකිරීමේ නිෂ්පල බවයි.

එම ව්‍යාපාරයේ අදහස සනාථ කරමින් ආණ්ඩුව ප්‍රකාශ කොට තිබෙන්නේ යුද්ධයෙන් පසුව ඉදි කෙරුනු වෙහෙර විහාර නඩත්තු කිරීමට තරම් ප්‍රමාණවත් බෞද්ධ බැතිමතුන් සංඛ්‍යාවක් උතුරු නැගෙනහිර වෙසෙන්නේ නැති බවයි.

“උතුර හා නැ‍ඟෙනහිර පළාත්වල පිහිටා ඇති බෞද්ධ විහාරස්ථාන බෝහෝමයක් අඩු පහසුකම් සහිත දුෂ්කර විහාරස්ථාන වශයෙන් හඳුනාගත හැකිය. එම විහාරස්ථානවල පානීය ජල පහසුකම් සහ අත්‍යවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් අවම මට්ටමක පවතින අතර, දායක පවුල් සංඛ්‍යාවද සීමිත වීම හේතුවෙන් එවැනි පහසුකම් ගොඩනඟා ගැනීමට තරම් ප්‍රමාණවත් ආර්ථික ශක්තියක් එම විහාරස්ථාන සතුව නොමැත,” යනුවෙන් කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දෙමින් රජය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.


අම්පාර උණුසුම්:
මේ අතර, ඓතිහාසික දීඝවාපී පුදබිමේ එක් පරිවාර චෛත්‍ය විහාරයක බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කිරීම මුල් කර ගනිමින් පසුගිය 07දා  රැස්වූ අම්පාර දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටුව උණුසුම් විය.

මෙහිදී නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මන්සූර් මහතා කියා සිටියේ, මෙම පිළිම වහන්සේ තැන්පත් කර ඇත්තේ මුස්ලිම් ගම්මානයක වන හෙයින් එය නොකළ යුතුව තිබූ බවයි.

එසේම, මෙමගින් යහපාලනයට හා සංහිදියාවට හානියක් විය හැකි බව ද ඔහු කියා සිටියේය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය දයා ගමගේ  මහතා, නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මන්සූර් මහතාගේ ප්‍රකාශයට විරෝධය දැක්විය.

එහිදී හෙතෙම කියා සිටියේ, බුද්ධාගමට ප්‍රමුඛතාව ලබා දීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඇති බැවින් සියලු දෙනා එය ක්‍රියාවෙන් ආරක්ෂා කිරීමට බැදී සිටින බවයි.

බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කිරීමට උපකාර කිරීම හේතුවෙන් යහපාලනය හෝ සංහිදියාව බිද වැටෙන්නේ යැයි යමෙක් පවසන්නේ නම්, එවැනි පසුබිමක් තුළ තම අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට වුව ද පසුබට නොවන බව දයා ගමගේ මහතා කියා සිටියේය.


BTF NaviPillaI 600pxබ්‍රිතාන්‍ය දෙමළ සංසදය :
මේ අතර, දෙමළ ප්‍රදේශවල බෞද්ධ සිද්ධස්ථාන ව්‍යාප්තිය අලලා මුද්‍රණය කරන ලද පොතක් බ්‍රිතාන්‍ය දෙමළ සංසදය විසින්  ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්තයේසති අන්තයේ පැවති ලංකා දෙමළ සංගමයේ 39 වැනි සංවත්සර රැස්වීමේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ හිටපු ප්‍රධානී නවී පිල්ලේ වෙත පිරිනමා තිබේ.


(මූලාශ්‍රය- radiogagana)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top