15976 BM WEB BANNER 01
Nov 10, 2016

අයවැය: සමෘධිය, ජන ඉසුරු වෙයි Featured

සමෘද්ධි දීමනාව වෙනුවට ජන ඉසුරු ව්‍යාපෘතිය නමින් නව වැඩපිළිවෙළක් ස්ථාපනය කිරීමට මෙවර අයවැය මගින් රජය යෝජනා කර සිටියි.

මුදල් අමාත්‍ය රවී කරුණානායක අද (නොවැ 10) පාර්ලිමේන්තුවේ දී 2017 අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් එබව සඳහන් කළේය.

මෙවර අයවැය යටතේ ශ්‍රී ලංකා ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සහ දුගී භාවය තුරන්කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කර ඇති බව අමාත්‍යවරයා සිය අයවැය කතාව ආරම්භ කරමින් පැවසුවේය.

විදුලි කාර් ආනයනය දිරිගැන්වීමට :

ත්‍රීරෝද රථ වෙනුවට විදුලි කාර් ආනයනය කිරීම දිරිගැන්වීමටත් විදුලි කාර් දහසක් ආනයන කිරීමේදී 50% පොලී සහනයක් ලබාදීමටත් 2017 වසර සඳහා වූ අයවැයෙන් යෝජනා කරයි.

ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ට ලක්ෂ තුනක් දක්වා ණය ලබා ගැනීමට ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාව මෙවර අයවැයෙන් ලබා දෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් අනුමැතිය ලද පෞද්ගලික විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන සිසුන්ට ලක්ෂ අටක් දක්වා ණය පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව සැලසීමට මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා පැවසීය.

ඊට අමතරව පිළිගත් පෞද්ගලික විශ්ව විද්‍යාලවල ප්‍රමිතිය සහතික කිරීම සඳහා නව වැඩසටහනක් හඳුන්වා දීමටත් යෝජනා කර ඇති බව ඔහු පැවසුවේ.

නොමිලේ පරිගණක (ටැබ්) :

පාසල් සිසුන්ට සහ ගුරුවරුන්ට නොමිලේ පරිගණක (ටැබ්) ලබා දීමටත් අවුරුදු පහේ සිට දහනවය දක්වා දරුවන්ට ලක්ෂ දෙක බැගින් වූ රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට අයවැයේ යෝජනා කෙරෙයි.

ඊට අමතරව පිරිවෙන් ශිෂ්‍යයන් සඳහා මාසිකව රුපියල් දෙදහස් පන්සියයක දීමනාවක් ලබා දීමටත් බලාපොරොත්තුවන බව අමාත්‍යවරයා සිය කතාවේ සඳහන් කළේය.

සියලු වෙළෙඳසල් රාත්‍රී එකොළහවන තෙක් විවෘතව තබන ලෙස ඉල්ලීමක් කළ අමාත්‍ය කරුණානායක, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඉලක්ක කරගත් ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීමටත් බලාපොරොත්තු වන බව වැඩි දුරටත් සඳහන් කළේය.

අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක මිල පහතට :

මේ අතර පරිප්පු, මුන්ඇට, සුදු සීනි සහ ගෘහස්ථ ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක මිල පහත දැමීමටද අයවැයෙන් යෝජනා කර ඇත.

ඊට අමතරව දේශීය සහ විදේශීය ආයෝජන දිරි ගැන්වීමේ යෝජනා මාලාවක්ද මෙවර අයවැයෙන් ප්‍රකාශයට පත් කෙරුණි.

(බිබිසි සංදේශය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top