Nov 11, 2016

'ට්‍රම්ප්ගේ ජය, ජනවාරි අට ජයග්‍රහණයට සමානයි' - හෙළ උරුමය

ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ජයග්‍රහණය පිළිබඳ තම පක්ෂය සතුටු වන බවත්, ඔහුගේ ජයග්‍රහණය ජාතික හෙළ උරුමය දැරූ ප්‍රතිපත්තියේ ජයග්‍රහණයක්‌ බවත් ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවසිය.

ඔහු එම අදහස්‌ පළ කළේ එම පක්‍ෂ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (10 ) පැවැති මාධ්‍ය හමුවකදීය.

''ජාතිකවාදය පිළිබඳ අද මුළු ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. ජනතාවගේ සිතුම් පැතුම් නොපිළිගන්නා නායකයන්ට පැවැත්මක්‌ නැති බව මේ තුළින් පිළිබිඹු වී තිබෙනවා. අපේ නායකයන්ට ඇමරිකානු ජනාධිපතිවරයාගෙන් උගත හැකි පාඩම් බොහෝමයි'' වර්නසිංහ මහතා එහිදී කියා සිටියේය.

''ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ජයග්‍රහණය පසුගිය ජනවාරි අටවැනිදා ජයග්‍රහණය හා සමානයි.

 ට්‍රම්ප් වගේම සිරිසේන මහතාටත් මාධ්‍ය බලය රාජ්‍ය බලය හමුදා බලය තිබුණේ නැහැ. පිටින් ගොඩනැඟුණු සිවිල් සංවිධාන හරහා ගොඩනැඟුණු බලයක්‌ ඔවුන්ට තිබුණේ.

ඒ නිසා මහින්ද රාජපක්‌ෂ මහතාගේ ජයග්‍රහණයක්‌ බවට ට්‍රම්ප් මහතාගේ ජයග්‍රහණය පත්වන්නේ නැහැ. මේ ජයග්‍රහණයේ සුජාත අයිතිකරුවන් වෙන කිසිවකු නොව ජාතික හෙළ උරුමයයි.'' යයි ද ඔහු අවධාරණය කළේය.


හොරු රකින්න දේශානුරාගී ගීත :


මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා මෙසේද පැවසීය

දූෂණ, වංචා පිළිබඳ සොයන කමිටුවේ වංචාවන් පිළිබඳ චෝදනා ඇති පිරිසක්‌ සිටිනවා. අනුන්ගේ වැරැදි හොයන්නට පෙර තමන් නිවැරැදි වෙන්න ඕනා. හොරු රකින්න දේශානුරාගී ගීතත් අද විපක්‍ෂයේ අය භාවිතා කරනවා.

විමල් වීරවංශ මහතාගේ නිවසේ සිදුවූ මරණය ගැන කතා නැහැ. රංගේ බණ්‌ඩාර මහතාගේ පුතා සිදුකළ අනතුර ගැන කතා නැහැ.


ලසන්ත ඝාතනය කළේ කවුද?


යුද්ධයෙන් පසු මේ රටේ සිදුවුණ බරපතළ අපරාධ තුනක්‌ තිබෙනවා. ලසන්ත ඝාතනය කළේ කවුද? ඒ පිටුපස ඉන්නේ කවුද? ඒ ඝාතනය වහන්න කීදෙනකු ඝාතනය කර තිබෙනවාද? කෑගල්ලේ බුද්ධි අංශ නිලධාරියා එල්ලිලා මැරුණාද? මරලා එල්ලුවාද? මේ ඝාතනය යටගහන්න හදන්නේ කවුද?

ලසන්ත ඝාතනය, ප්‍රදීප් එක්‌නැලිගොඩ ඝාතනය, තාජුඩීන් ඝාතනය පිළිබඳ හොයන්න ඕන. ඒ වගේම අභිරහස්‌ ඝාතන සියල්ල ගැන හොයන්න ඕන. ප්‍රභාකරන් ඝාතනය කළ දවසේම අභිරහස්‌ අන්දමින් ඝාතනය වූ හම්බන්තොට දඬුවම් මුදලාලිව ඝාතනය කළේ කවුද? ඔවුන් කවුද කියා හෙළිදරව් කරගත යුතුයි. '

Helaurumaya 1

Helaurumaya 2

Helaurumaya 3

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top