Nov 11, 2016

මානව හිමිකම් උල්ලංඝනය කරලා : පොලිසිය ජිනීවා කැඳවයි Featured

ශ්‍රී ලංකා රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් පිරිසක්, ලබන 15 වෙනිදා 'වද හිංසාවලට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව' ඉදිරියේ පෙනී සිටීමට නියමිතය.

 ශ්‍රී ලංකාවේ පොලිසිය විසින් සිදුකරනු ලැබූ බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් රාශියක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවිධාන ගණනාවක් මේවනවිට මෙම කමිටුවට කරුණු ඉදිරිපත් කර තිබේ.

මෙම චෝදනා වලට පිළිතුරු බැඳීම සඳහා පොලිසියේ නීති අංශයේ ප්‍රධානි වැඩබලන නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ, ජාතික බුද්ධි ප්‍රධානී (CNI ) සිසිර මෙන්ඩිස් අද (11) ජිනීවා බලා පිටත්ව යාමට නියමිතය.

එසේ ජිනීවා යන ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා ලෙස නීතිපති ජයන්ත ජයසුරිය මහතා කටයුතු කරන අතර අතිරේක සොලිස්ටර් ජනරාල් සරත් ජයමාන්න, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් නෙරින් පුල්ලේ යන නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරි ද එම නියෝජිත කණ්ඩායමට ඇතුලත්වේ.

ශ්‍රී ලංකාවේ විදෙස් සේවයේ නියුතු රොහාන් පෙරේරා, රවිනාත ආරියසිංහ යන මහත්වරුන්ද ජිනීවා හිදී මෙම කණ්ඩායමට එක්වීමට නියමිතය.

දුෂ්කර වැඩක් :

'වද හිංසාවලට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව හමුවේ ශ්‍රී ලංකා ආණ්ඩුව ආරක්ෂක අංශයේ ප්‍රතිසංස්කරණ පෙන්වාදීමට නියමිත වුවද, විශේෂයෙන් ම පොලිසියේ මානව හිමිකම් උල්ලංඝන හමුවේ එය දුෂ්කරවනු ඇති බව 'හියුමන් රයිට්ස් වොච්' (HRW -Human Rights Watch)  සංවිධානය පවසයි.

2014 ජුනි මාසයේ කොළඹ-නුවර මාර්ගයේදී ඉන්දික ජයසිංහ වෙඩි තබා ඝාතනය කිරීමේ වරද පිළිගත් පොලිස් නිලධාරීන් තවමත් සේවයේ යෙදී සිටින බව පවසන එම සංවිධානය, 2014 මැයි මාසයේදී 16 හැවිරිදි සඳුන් මාලිංගට වද දී මරා දැමූ බවට පොලිසියට චෝදනා එල්ල වී තිබෙන බව ද පෙන්වා දෙයි.


නිල නොවන වද කඳවුරු :


පොලිසිය නිල නොවන වද කඳවුරු පවත්වාගෙන යන බව ශ්‍රී ලංකාවේ ජාතික මානව හිමිකම් කොමිසම විසින් ද මෑතදී තහවුරු කරන ලද බව 'හියුමන් රයිට්ස් වොච්' සංවිධානය වැඩිදුරටත් පවසයි.

ශ්‍රී ලංකා පොලීසිය අත් අඩංගුවේ සිටින අපරාධ වලට සම්බන්ධ සැකකරුවන් නිතර වධ බන්ධනවලට ලක් කරන බවත් ඔවුන් පීඩාවට පත් කරන බවත් "හියුමන් රයිට්ස් වොච්" සංවිධානය,  2015 ඔක්තෝබර් 23 දා ද වාර්තාවක් නිකුත් කරමින් කියා සිටියේය.

පිටු 59 කින් යුත් ශ්‍රී ලංකාව සම්බන්ධ එම වාර්තාව නම් කොට තිබෙන්නේ “We Live in Constant Fear’: Lack of Accountability for Police Abuse in Sri Lanka” – “අපි නිරන්තර බියෙන් ජීවත් වන්නෙමු : පොලිස් අපචාර වලට වගවීමක් නැත” යනුවෙනි.


යාපනයේ සිසුන්ට වෙඩි තැබීම:


සුන්දිරාජා සුලක්ෂන් සහ නඩරාසා ගජන් යන විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් දෙදෙනා පසුගියදා යාපනයේදී වෙඩි ප්‍රහාරයකින් මියයාම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන 'හියුමන් රයිට්ස් වොච්' සංවිධානය, මහජන කෝපය මතු නොවූයේ නම් සත්‍යය වසන් කිරීමට බලධාරීන් උත්සුක වනු ඇති බවට සැකයක් නැතැයි පෙන්වා දෙයි.

එම ශිෂ්‍යයන් දෙදෙනා මියයාම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු පොලිස් නිලධාරීන් පස්දෙනා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.


සබැඳි පුවත් :

පොලිස් වද බන්ධන දිගටම: HRW කියයි

මෛත්‍රි පාලනය යටතේත් වධ හිංසා !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top