nsb

Nov 12, 2016

සිංහල හා මුස්ලිම් ජනයා කෙටවිමේ ව්‍යාපාරයක් ! Featured

සිංහල හා මුස්ලිම් ජනයා කෙටවීමේ ව්‍යාපාරයක ඇතැම් අන්තවාදි පිරිස් යෙදී සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මුහුණ පොත හරහා එවැනි අන්තවාදී ආගමික ප්‍රචාරය කරන පුද්ගයින් වහාම අත්අඩංගුවට ගැනීමට රජය කටයුතු කරන බවද ඔහු අවධාරණය කර සිටියි.

අමාත්‍යවරයා මේ බව පැවසුයේ, නැගෙනහිර ප්‍රදේශයේ මුස්ලිම් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිරිසක් ඊයේ පාර්ලිමේන්තුවේදී හමුවූ අවස්ථාවේදීය.

මන්නාරම සිලාවතුර, මුසලි ප්‍ර දේශයේ සිංහල ධීවර පවුල් පදිංචි කිරීම පිළිබඳව ගෙන ඇති පියවර පිළිබඳව සාකච්ඡා කිරිමට මෙම හමුව සංවිධානය කර තිබුණි.

සිය අමාත්‍යාංශය මට්ටමින් එවැනි ධීවර ගම්මානයක් පිහිටුවීමේ තීරණයක් ගෙන නැති බව පැවසු ඇමතිවරයා,
සිංහල ධීවරයින් නොසිටි ස්ථානයක එසේ පදිංචිකර අනවශ්‍ය ගැටලු ඇතිකිරීමේ අවශ්‍යතාවක් නැති බව ද පෙන්වා දුන්නේය.

සිංහල, මුස්ලිම් හා දමිල ප්‍රජාව සහයෝගයෙන් කටයුතු කළ යුතු බව පැවසු ඇමතිවරයා, රජය කිසිවෙකුට අසාධාරණයක් නොකරන බවද අවධාරණය කළේය.

බලහත්කාර පදිංචියක් :

මන්නාරම එක්සත් ධීවර සංගමයට අයත් ධීවරයෝ පසුගිය 08 දා මුහුදු යාමෙන් වැළකී මන්නාරම නගරයේදී විරෝධතාවක යෙදුණහ.

මුසලි ප්‍රදේශයේ සිංහල ධීවර ගම්මානයක් පිහිටුවීමේ මූලික වැඩපිළිවෙල ක්‍රියාත්මකවන්නේ යැයි පවසමින් ඊට විරෝධය පෑම එහි අරමුණ විය.

යුද්ධයෙන් පීඩාවට පත් මන්නාරම දිස්ත්‍රික්කයේ ධීවරයින්ට රජයෙන් මෙතෙක් සහන සලසා නොමැති තත්ත්වයක් තුළ නව සිංහල ධීවර ජනාවාසයකට අධික වියදම් දැරීමට රජය සූදානම්වීම දැඩි අසාධාරණයක් බව ද මන්නාරමේ ධීවර සමිති නායකයෝ එහිදී පෙන්වා දුන්හ.

ධීවරයින්ගේ මෙම විරෝධය මත ඉඩම් මැණීමේ කටයුතු තාවකාලිකව නතරකොට දැමීමට බලධාරීන්ට සිදුවිය.

සබැඳි පුවත් :

මන්නාරම නොසන්සුන් : ධීවරයින් දියඹ වරා වීදි බසි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top