nsb

Nov 12, 2016

නිවාස අධිකාරිය මිලියන 600ක කොල්ලයකට සැරසෙයි ! Featured

Exclusives - ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවකට ද පටහැනි ව ‘දේශපාලන පළිගැනීම්’ වලට ලක්වූ අය බව කියමින් 183 දෙනෙකුට පිළිගත් බඳවා ගැනීම් සහ උසස්වීම් පිරිනැමීමේ පරිපාටීන් උල්ලංඝනය කරමින් අයථා ලෙස උසස්වීම් ලබා දීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පාලනාධිකාරිය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

නිවාස හා ඉදිකිරීම් ඇමතිවරයාගේ උපදෙස් පරිදි පරිදි නිවාස අධිකාරියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගෙන ඇති මේ අත්තනෝමතික තීරණය නිසා ආයතනයට සිදු වන මූල්‍ය අලාභය රුපියල් මිලියන 600කට අධික වේ යැයි පැවසේ.

මෙවැනි දැවැන්ත මූල්‍ය අලාභයක් දැරීමට සිදු වුවහොත් ආයතනයේ මූල්‍ය අස්ථාවරභාවයක් ඇති වීමේ අවදානමක් මතු විය හැකි බව මහා භාණ්ඩාගාරය විසින් පෙන්වා දී ඇතැයි ද මේ අතර වාර්තා වේ.

‘දේශපාලන පළිගැනීම්වලට ලක් වීම නිසා අසාධාරණයට ගොදුරු වී ඇතැයි පෙන්වා දෙමින් උසස්වීම් සහ වන්දි ලබා දීමට තෝරා ගෙන ඇති මේ පිරිස අතර 1998, 1999, 2004, 2005, 2008, 2009 සහ 2012 යන වර්ෂවල උසස්වීම් ලබා ඇති පිරිසක් ද සිටින එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

අදාළ උසස්වීම් සහා අවශ්‍ය අවම සුදුසුකම් සපුරා නැති පිරිසක් මෙන් ම මූල්‍ය වංචා සහ වෙනත් වැරැදි නිසා වැඩ තහනම් වී සහ වෙනත් දඬුවම් ලබා ඇති පිරිසක් ද සිටින බව පැවසේ.

ජාතික සේවක සංගමේ සභාපති හා ලේකමුත් ලයිස්තුවේ

නිවාස අධිකාරියේ ජාතික සේවක සංගමයේ නිර්දේශය මත දේශපාලන පළිගැනීම් පරීක්ෂා කිරීමේ කමිටුව විසින් උසස්වීම් සහ වන්දි පිරිනැමීමට ඉවක් බවක් නැතිව අනුමත කර ඇති මේ පිරිස අතර එකී ජාතික සේවක සංගමයේ ලේකම් හා සභාපති ද සිටීම විශේෂ සිද්ධියකි.

මේ ලේකම්වරයා පසුගිය සමයේ ආයතනයේ සේවක සුබසාධක සංගමයේ අරමුදලෙන් රුපියල් ලක්ෂ 25කට අධික මුදලක් වංචා කිරීම නිසා වැඩ තහනමකට ලක් වූ අයෙකි.

මේ පිළිබඳ නඩුව තවමත් අධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතී. (එසේ තිබිය දී වර්තමාන ඇමතිවරයා වැඩ භාර ගැනීමත් සමඟ ඔහු හිඟ වෑටුප් සහිතව නැවත සේවයේ පිහිටුවා ඇත.

vii – I ශ්‍රේණියේ තාක්ෂණ නිලධාරියකු වන ඔහු 2005 වර්ෂයේ සිට බලපැවැත්වෙන පරිදි iv ශ්‍රේණියේ කළමනාකාර තනතුරකට සහ 2010 වර්ෂයේ සිට බලපැවැත්වෙන පරිදි iii ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර තනතුරකට උසස් කිරීමටත් 2005 වර්ෂයේ සිට හිඟ වැටුප් ලබා දීමටත් නිර්දේශ කර ඇති බව පැවසේ.

ඒ අනුව ඔහුට හිඟ වැටුප් වශයෙන් රුපියල් ලක්ෂ 30කට ආසන්න මුදලක් ගෙවීමට නියමිත ඇතැයි වාර්තා වේ.

අපොස සාමාන්‍ය පෙළ විභාගය පමණක් සමත් ඔහුට කළමනාකාර තනතුරකට සුදුසුකම් නොවන බවද පැවසේ.

ඔහුට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මාළිගාවත්ත කාර්යාලය ඉදිරිපිට ඇති අධිකාරියට අයත් ඉඩමක් අනවසරයෙන් අල්ලාගෙන භුක්ති විඳිමින් සිටින බවටද චෝදනාවක් ඇති බව වාර්තා වේ.

දැනට vi ශ්‍රේණියේ කළමනාකරුවකු වන ජාතික සේවක සංගමයේ සභාපතිට iv ශ්‍රේණියේ කළමනාකාර තනතුරක් සහ අදාළ හිඟ වැටුප් ලබා දීමට නිර්දේශ වී ඇත.

ඒ අනුව ඔහුට හිමි වීමට නියමිත හිඟ වැටුප් මුදල රුපියල් ලක්ෂ 10කට අධික බවද වාර්තා වේ.

දැනටත් ඔහුට iv ශ්‍රේණියේ කළමනාකාර තනතුරක වැඩ බැලීමේ දීමනාවක් ගෙවනු ලැබන බවත්, කළමනාකාර තනතුරකට හිමි නැති නිල වාහනයක් ආයතනයන් ඔහුට ලබා දී ඇති බවත් පැවසේ.

හිටපු සැපයුම් කළමනාකරු ද මේ උසස්වීම් ලැයිස්තුවේ සිටින අතර සැපයුම් කළමනාකරු ලෙස කටයුතු කරමින් සිටිය දී වංචනික හා අයථා ලෙස කටයුතු කරමින් ඔහු විසින් ආයතනයට සිදු කරන ලද මූල්‍යමය හානිය පිළිබඳව මේ වන විට මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසින් පරීක්ෂණයක් සිදු කෙරෙමින් පවතින බවද වාර්තා වේ.

දැනට v ශ්‍රේණියේ කළමනාකරුවකු වන ඔහුට iii ශ්‍රේණියේ සහකාර සාමාන්‍යාධිකාරී තනතුරක් ලබා දීමට නිර්දේශ වී ඇත ග ඔහු වෙත ගෙවීමට සිදු වන හිඟ වැටුප් මුදලේ වටිනිකම රුපියල් ලක්ෂ 40කට ආසන්න බවද එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

උසස්වීම් ලබා දීමට යෝජිතව පිරිස අතර පසුගිය සමයේ ආයතනයේ සේවක සුබසාධක සමිතියේ සාමාජික අරමුදල් වංචා කිරීමේ චෝදනාව මත වැඩ තහනමට ලක්වූ සිව් දෙනෙක් සිටී.

ජාතික සේවක සංගමයේ ලේකම්වරයා ඇතුළු ඒ සිව් දෙනාම ඒ පිළිබඳව පැවරූ නඩුවේ විත්තිකරුවන් වුවද වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ ඒ සිව් දෙනාම හිඟ වැටුප් සහිතව නැවත සේවයේ පිහිටුවා ඇත.

මෙය දේශපාලන හේතු මත විවිධ ගැටලූවලට මුහුණ දුන් අයට සහන සැලසීම සඳහා 2016 මාර්තු 02 දා කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීරණය වංචනික ලෙස යොදා ගැනීමේ කුමන්ත්‍රණයක් බව එහි ඇතැම් සේවකයෝ කියා සිටී.

- කේ.එස්.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top