nsb

Nov 12, 2016

යුද්ධයට අණ දුන් අය ‘විදුලි පුටුවට' බියවිය යුතු නැහැ' -ජනපති

ශ්‍රී ලංකාව පවත්වාගෙන ගිය යුද්ධය ට අණ දුන් කිසිවකුත් විදුලි පුටුවට හෝ ජාත්‍යන්තර උසාවියට යාම ගැන කිසිදු බියක් ඇති කරගත යුතු නැති බව පවසන ජනාධිපතිවරයා, දේශීය යාන්ත්‍රණයකට විදේශීය විනිසුරුවරුන් සහභාගී කර ගැනීම නැවත වතාවක් ප්‍රතික්ෂේප කර ඇත.

ඉන්දියාවේ පලවන ‘හින්දු’ පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසා ඇත්තේ, ජාත්‍යන්තර බලපෑම් කොන්දේසි විරහිත සහයක් බවට පෙරලන්නට මාස විස්සක් වැනි කෙටි කලකදී තමන්ට හැකිවූ බවයි.

යුද්ධයට අණ දුන් අය ‘ජාත්‍යන්තර අධිකරණයට ගෙනයනු ඇති බවට, මරණ දඬුවමට පවා ලක් විය හැකි බවට සහ විදුලි පුටුවේ ඉඳගන්නට සිදුවනු ඇති බවට’ තමන් බලයට පත්වීමට පෙර බියක් පැවති බව පවසා ඇති ජනාධිපතිවරයා තවදුරටත් ඒ පිලිබඳ බියක් ඇති කරගත යුතු නැති බවට සහතික වී තිබේ.

ජගත් ප්‍රජාවේ සතුට :

“මගේ ක්‍රියාකාරිත්වය ගැන ජාත්‍යන්තර ප්‍රජාව කොයිතරම් සතුටට පත් වී තිබෙනවාද කියතොත්, රට ගැන ඔවුන් තුල තිබූ චිත්‍රය සම්පුර්ණයෙන්ම වෙනස් වෙලයි තියෙන්නේ. දැන් අපට විදුලි පුටු ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. මානව හිමිකම් චෝදනා ගැන විදේශීය විනිශ්චයකාරවරුන් පරීක්ෂණ පැවැත්වීම ගැන ප්‍රශ්නයක් මතුවන්නේ නෑ,” යි ජනාධිපතිවරයා පවසා ඇත.

“අපේ රටේ අභ්‍යන්තර කටයුතු විමර්ශනය කරන්නට විදේශීය විනිශ්චයකාරවරුන්ට ඉඩ සලසන කිසිම යෝජනාවකට එකඟ නොවන බව මම ජාත්‍යන්තර ප්‍රජාවට කියා තිබෙනවා. මේක මේ කාලය තුල මම ලබාගත් දැවැන්ත ජයග්‍රහණයක්.”

ඉකුත් වසරේ සැප්තැම්බරයේ ජිනීවාහි සම්මත කොටගත් ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් නගා සිටුවීම,’ සඳහා වන සම්මුති යෝජනාව විසින් ඉල්ලා ඇත්තේ යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් විභාග කිරීමට ‘විශේෂ නීතිඥ වරයකුගේ කාර්යාලයක්, පොදුරාජ්‍ය මණ්ඩලය සහ වෙනත් විදේශීය විනිසුරුවරුන්, විත්තියේ නීතිඥවරුන් සහ අභිචෝදකයන් සහ විමර්ශකයන්,’ ඇතුලත් ශ්‍රී ලාංකික අධිකරණ යාන්ත්‍රණයක් පිහිටුවන ලෙසයි.

එක්සත් ජාතීන් හමුවේ ගිවිසගත් පරිදි යුද අපරාධ විභාග කිරීම සඳහා ජාත්‍යන්තර යාන්ත්‍රණයක් යොදා ගන්නා ලෙසය ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීම සම්බන්ධයෙන් අවිශ්වාසය පල කරන ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මෙන්ම දෙමළ ජාතික සන්ධානය ඇතුළු දෙමළ දේශපාලන හා බහුජන සංවිධානද බලකර කියා තිබේ.

දේශීය යාන්ත්‍රණයක්:

ජාත්‍යන්තර අපරාධ ගනයේ ලා සැලකෙන යුද අපරාධ සම්බන්ධයෙන් රට තුල විභාග කිරීමට දේශීය අධිකරණ ක්‍රියාවලිය අසමත් බව ජනාධිපතිවරයා ද පිළිගෙන තිබේ.

“අපේ ව්‍යවස්ථාව අනුව විදේශීය නඩුකාරයන්ට රටේ අධිකරණ ක්‍රියාදාමයට හවුල් වීමේ හෝ නඩු මෙහෙයවීමේ හැකියාවක් නෑ. මේ ආකාරයේ ප්‍රශ්නයක් විසඳන්න උත්සාහ කරන විට හැමදෙනාම සියයට සීයක් සතුටු කරන්න බෑ.”

විදෙස් විනිසුරුවන් ගෙන්වීම පිලිබඳ කතාකරන අයටත් පිළිගත හැකි යාන්ත්‍රණයක් සකස් කර ගැනීමට රජය වීරිය කරමින් සිටින බව 'හින්දු' පුවත්පතට කී ජනාධිපති සිරිසේන මහතා පවසා ඇත්තේ ‘බහුතරයට එකඟ විය හැකි’ තීරණයක් ක්‍රියාවේ යොදවන බවයි.

කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි සේ කියා ඇත්තේ සකස් කරගන්නා කවර යාන්ත්‍රණයක් වුව පීඩිත දායකත්වයෙන් සිදුවන ඔවුන් කේන්ද්‍ර කරගත්තක් විය යුතු බවයි.

(radiogagana)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top