nsb

Nov 12, 2016

ප්‍රාඩෝ වංචාව හෙළි කළ රේගු නිලධාරීන් දංගෙඩියට Featured

රජයට හිමි විය යුතු රුපියල් මිලියන දහසකට අධික තීරු බදු මුදලක් මුදල් අමාත්‍යවරයාගේ මැදිහත් වීම හේතුවෙන් අහිමි වීම පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ රේගු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට රේගු අධ්‍යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා මහතා නියෝග කර ඇතැයි වාර්තා වේ.

රුපියල් බිලියනය ඉක්මවන තීරුබදු ආදායම රජයට අහිමි වී ඇත්තේ TOYOTA PRADO TRJ 150 වර්ගයේ මෝටර් රථ අදාළ ගාස්තු නොගෙවා මෙරටට ආනයනය කිරීම හේතුවෙනි.

2015 වසරේ අගභාගයේ දී මෙම මෝටර් රථ තොගය මෙරටට ආනයනය කෙරෙන්නේ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමිනි.

අදාළ මෝටර් රථ ආනයනය නිසා දැවැන්ත තීරුබදු ආදායමක් අහිමි වන බව තහවුරු වූ පසු මෝටර් රථ තොගය රේගුවෙන් නිදහස් නොකිරීමට රේගුව තීරණය කර ඇත.

ස්වාධීන කමිටුවක් !

මුදල් අමාත්‍යවරයා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අදාළ මෝටර් රථ තොගය මුදාහරින්නැයි නියෝග කර ඇත්තේ යහපාලන ආණ්ඩුවට වසරක් සම්පූර්ණ වූ 2016 ජනවාරි මස අට වන දිනයි.

ඒ වන විටත් ප්‍රශ්නගත වංචාව සම්බන්ධයෙන් රේගු අධිකාරි එස්.කේ.ඒ.එස්. සේනානායක මහතාගේ මූලිකත්වයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබිණි.

2016 ජනවාරි මස 17 දින සමස්ත ලංකා රේගු සේවා සංගමය මෙම වංචාව පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කර ඇත.

එම දැනුවත් කිරීමට ප්‍රතිචාර ලෙස අදාළ සංගමයේ නියෝජිත පිරිසකට තමා සමඟ සාකච්ඡාවකට පැමිණෙන ලෙස ජනාධිපතිවරයා අවස්ථාව ලබා දී තිබිණි.

එම අවස්ථාව ලබා දී ඇත්තේ 2016 මාර්තු මස 09 වන දිනය.

අදාළ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස මෙම වංචාව පිළිබඳ සොයා බැලීමට ස්වාධීන කමිටුවක් පත් කෙරුණි.

කමිටුව අහෝසියි :

ප්‍රශ්නගත වංචාව අනාවරණය කරගත් රේගු නිලධාරීන් සියලු දෙනා එම කමිටුව හමුවේ සාක්ෂි දුන් පසුව ඉහළ පෙළේ ප්‍රභූවරයකුගේ අණින් කමිටු වාර්තාව එළිදක්වන්නටත් පෙර කමිටුව අහෝසි කර ඇත.

එවැනි පසුබිමක ඉකුත් නොවැම්බර් පස් වන දා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විමර්ශන නිලධාරීන්ට එරෙහිව විශේෂ විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ අදාළ මෝටර් රථ තොගය පිළිබඳ තොරතුරු රේගුවෙන් පිටතට යාම තුළින් රේගු දෙපාර්තමේන්තුවට අගතියක් සිදු වූ බවය.

පරීක්ෂණ මෙහෙයවීම රේගු අධ්‍යක්ෂ සමන් ද සිල්වා මහතාට පවරා ඇති අතර රේගු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිතිවලට අනුව ඔහු එවැනි පරීක්ෂණයක් පැවැත්වීමට සුදුසු අයකු නොවන බව අනාවරණය කෙරී ඇත.

මනුෂ්‍ය ඝාතනයක් කිරීමට උත්සාහ දැරීමේ චෝදනාව මත සමන් ද සිල්වා මහතා රක්ෂිත බන්ධනාගාරගතව සිට පසුව ඇප මත නිදහස්ව සිටින්නෙකි.

ඊට අමතරව රේගු අධ්‍යක්ෂවරයකු ලෙස ඔහු ලබා තිබෙන පත්වීම රාජ්‍ය සේවා කොමිසම විසින් මෙතෙක් අනුමත කර නැත.

අදාළ තනතුරට උසස් කෙරෙන අවස්ථාවේ දී ඔහු සිට ඇත්තේ ද රක්ෂිත බන්ධනාගාරගතවය.

හොර ගුහාවක් :

කෙසේ වෙතත් ප්‍රශ්නගත මෝටර් රථ තොගය මුදාහැරීම වළකා වැඩිදුර පරීක්ෂණ මෙහෙයවමින් සිටි රේගු අධිකාරි එස්.කේ.ඒ.එස්. සේනානායක මහතා එළඹෙන නොවැම්බර් 17 වන දින සමන් ද සිල්වා මහතා හමුවේ විනය පරීක්ෂණයකට පෙනී සිටිය යුතු බවට දැනුම් දී ඇත.

අදාළ රථවාහන තොගය මුදාහැරීමේ දී රුපියල් ලක්ෂ 50 බැගින් මුදල් අයකර ගැනීමට මුදල් ඇමැතිවරයා මීට පෙර නියෝග කර ඇත.

එහෙත් ඒ සඳහා අය කරගත යුතු මුදල වන්නේ එක් මෝටර් රථයකට රුපියල් ලක්ෂ 80 කි.

තත්ත්වය එසේ තිබිය දී රුපියල් ලක්ෂ 16 බැගින් අයකර මෝටර් රථ තොගය නිදහස් කරන ලෙස යළිත් වරක් මුදල් අමාත්‍යවරයා රේගු බලධාරීන්ට නියෝග කර ඇත.

මෙම මෝටර් රථ තොගය ආනයනය කිරීමේ වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රේගු නිලධාරීවරයාත් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාත් අදාළ අංශවලට යෝජනා කර ඇත්තේ රුපියල් ලක්ෂ 16 ක මුදලවත් අයකර නොගෙන මෝටර් රථ තොගය නිදහස් කිරීමටයි.

මෙබඳු ක්‍රියා තුළින් මුදල් ඇමැතිවරයා රේගුව හොර ගුහාවක් බවට පත් කරමින් සිටින බව රේගු වෘත්තීය සමිති පෙන්වා දෙයි.

රේගු වෘත්තීය සමිති කරන චෝදනා සම්බන්ධයෙන් කරුණු දැනගැනීම සඳහා අවස්ථා ගණනාවකදීම මුදල් අමාත්‍යවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එය ව්‍යර්ථ විය.

(සත්හඬ - දයා නෙත්තසිංහ)

සබැඳි පුවත් :

ප්‍රාඩෝ මුදාහැරීමට මහින්දත් පැටලෙයි 

ජනපති ප්‍රාඩෝ කේස් එකට අතදාලා !

ප්‍රාඩෝ මුදා හැරීමේදී බරපතල බදු වංචාවක් 

අනුර ප්‍රාඩෝ ගැන කියද්දී රවී මුණිවත රකී 

රේගුවේ හිරවූ ප්‍රාඩෝ ගැන තතු හෙළිවෙයි 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top