nsb

Nov 13, 2016

'ජනපති සරණින්' චූදිත හමුදා පිරිස් නිදහස් වෙනවා' - බාහු (වීඩියෝ) Featured

පසුගිය පාලන සමයේ ඝාතනයට ලක්‌වූ ආණ්ඩු විවේචකයන් මරා දැමූ බවට චෝදනා ලබන හමුදා නිලධාරීන්ට නීතියෙන් ගැලවී යාම සඳහා  ජනාධිපතිවරයා පිහිට වී ඇති බවට වත්මන් පාලනය පිහිටුවීමට දායක වූ වාමාංශික නායකයෙක් චෝදනා කරයි.

ලසන්ත වික්‍රමතුංග සහ ප්‍රගීත් එක්නැලිගොඩ වැනි මාධ්‍යවේදීන්ද, නඩරාජා රවිරාජ් වැනි දේශපාලකයන්ද ඝාතනය කිරීමේ චෝදනා වලට සිරභාරයේ සිටි හමුදා සාමාජිකයන්ට අධිකරණයෙන් ඇප ලැබී නිදහස් වී යාමේ අවස්ථාව උදාවී ඇත්තේ ඔවුන් රඳවා තබා ගැනීමට එරෙහිව ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ විරෝධය පෑමෙන් අනතුරුව බව නව සම සමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.


ස්මාරක සහ නිදැල්ලේ යාම :


“මැරුවේ කවුද කියලා හොඳට දන්නවා. ඒගොල්ලෝ හිරේ දාලා දඬුවමක් දුන්නේ නෑ. අපිට වෙලා තියෙන්නේ ලසන්ත ඇතුළු මැරුණු අය වෙනුවෙන් ස්මාරක හදන්න. මරාපු මිනිස්සු නිදැල්ලේ යනවා,” යි ඔහු චෝදනා කළේය.

මහින්ද රාජපක්ෂ දෙවැනි වරට ජනාධිපති ධුරපත් 2010 මැතිවරණයට දෙදිනකට පෙරදා රාත්‍රියේ ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමට චෝදනා ලද හමුදා නිලධාරීන් සියලු දෙනාම මේ වන විට ඇප ලබා නිදහස්වී ගොස් සිටිති.

අත් අඩංගුවට ගෙන සිටි 13 දෙනකු අතරින් අවසාන වතාවට ඇප ලද හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනා විනී ප්‍රියන්ත නිල්න්ජන් සහ කෝප්‍රල් රවීන්ද්‍ර උපසේනයි.


‘දේශනාවෙන් නීති හැදීම’


අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න විසින් ඔවුන්ට ඇප දෙන ලද්දේ හමුදා නිලධාරීන් ‘උසාවියට දක්කාගෙන යාම’ ට එරෙහිව ජනාධිපතිවරයා ‘බලවත් අප්‍රසාදය’ පලකළ ‘සත්විරු සංහිඳ’ දේශනයෙන් මාසයක් ගතවීමටත් මත්තෙන්ය.

එම දේශනයෙන් සති දෙකක් ඇතුලත චූදිත බුද්ධි අංශ නිලධාරීන් වන ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න සහ මාණ්ඩලික සැරයන් ප්‍රියන්ත කුමාර රාජපක්ෂ හෙවත් නාදන් ඇප ලබා නිදහස් වූහ.

අධිකරණයට ඇඟිලි ගැසීමට තමන් අපේක්ෂා නොකරන බව කියා සිටියත්, ප්‍රගීත් එක්නැලිගොඩ සහ ලසන්ත වික්‍රමතුංගට එරෙහි අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හමුදා බුද්ධි අංශ නිලධාරීන් සම්බන්ධයෙන් සෘජුවම මැදිහත් වූ බව ජනාධිපතිවරයා ‘සත්විරු සංහිඳ’ දේශනයේදී හෙළි කොට සිටියේය.

ප්‍රගීත් අතුරුදහන් කිරීමේත් ලසන්ත වික්‍රමතුංග ඝාතනයේත් සැකකාර හමුදා බුද්ධි අංශයේ සැරයන් ප්‍රේමානන්ද උදලාගම ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් ශාබ්දීන් විසින් ඇප මත මුදාහරින ලද්දේ දේශනයෙන් දෙදිනකට පසුයි.

මිනීමරු චුදිත හමුදා නිලධාරීන්ගේ නිදහස වෙනුවෙන් ජනාධිපති වරයා  ප්‍රසිද්ධියේ මැදිහත්වීම ‘දේශනාවක් දී නීතියක් හැදීමක්’ ලෙස හැඳින්වූ ආචාර්ය වික්‍රමබාහු එය සැකකරුවන්ට අධිකරණයෙන් ඇප ලබා ගැනීම සඳහා නීතිඥයන් විසින් යොදා ගන්නා බව පෙන්වා දුන්නේය.

“ජනාධිපති තුමා කියපු කතාව අල්ලාගෙන හැමෝටම ඇප දෙනවා. රණවිරුවන්ට ඇප දෙනවා. ඕනෑම මිනීමරුවෙක් පොඩ්ඩක් හමුදාවේ හිටියානම්, මුළු ජීවිතේටම ඕනෑම අපරාධයකට පාරේ බැහැලා යන්න පුළුවන්.”

 
දණ්ඩ මුක්තිය :


අපරාධකාරී ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ සාමාජිකයන් දඬුවම් නොලබා ගැලවී දණ්ඩ මුක්තිය භුක්ති විඳීම  ආයතනගත අර්බුදයක් බව පෙන්වා දී ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් මණ්ඩලය සමග හවුලේ ජිනීවාහිදී මෙයින් වසරකට ඉහතදී සම්මත කරගත් යෝජනාවෙන් එය වලක්වාලීම සඳහා ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණයකට ආණ්ඩුව එකඟ වී තිබේ.

මනුෂ්‍ය වර්ගයාට එරෙහිව කරන අපරාධ වලට හමුදා නිලධාරීන්ට දඬුවම් දෙනු ලබන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලෙස ජගත් සංවිධාන කිහිපවර ඉල්ලා තිබුනත් එසේ නොකොට ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට ඇත්තේ සන්නද්ධ අංශ වල සාමාජිකයන් රැක ගැනීම වෙනුවෙන් තමන් ඉදිරිපත් වන බවයි.

හිටපු ආරක්ෂක ලේකම් ඇතුළු රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ගේ ප්‍රශංසාවට පාත්‍ර වූ  ජනාධිපතිවරයා හමුදා නිලධාරීන් හමුවේ පැවැත්වූ ‘සත්විරු සංහිඳ’ දෙසුම වර්තමාන රජය බලයට පත් කිරීමට වෙහෙසවූ බලවේගවල දැඩි හෙලා දැකීමට ලක් වුවකි.

(radiogagana)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top