Nov 13, 2016

කොටිකන්බොක්ක රක්ෂිතයේ සුදු තිරුවානා කැණීමට බලපත්‍රයක් දීලා Featured

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කොටිකන්බොක්ක වනාන්තරයේ සුදු තිරිවානා (ක්වාට්ස්) ඛනිජය කැණීම සඳහා නීති විරෝධී ලෙස අනුමැතිය ලබා දීමට සූදානම් වන බවට පරිසර සංරක්ෂණ භාරය චෝදනා කරයි.

මෙසේ අවසරදීමට සැරසෙන්නේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ නියෝග මත බවද පරිසර සංරක්ෂණ භාරය කියයි.

කිරිදි ඔයේ අතු ගංගාවක් වන අලිකොට ආරෙහි හා උමා ඔය ව්‍යාපෘතිය යටතේ ඉදි කෙරෙන අලිකොට ආර ජලාශය මායිමේ පිහිටි ප්‍රධාන ජල පෝෂක වනාන්තරය වන කොටිකන්බොක්ක වනාන්තරයෙන් අක්කර 8 ක් පමණ ඉවත් කර මෙම කැණීම් කටයුතු සිදු කිරීමට සූදනම් වන බවද පැවසේ.

Kotikkanbokka

මෙය යාන්ත්‍රික කැනීමක් මගින් සිදු කිරීමට සැරසෙන බවත්, එය නුගේගොඩ, ස්ටැන්ලි තිලකරත්න මාවතේ, අංක 196/ඒ, රත්නවීර ගොඩනැගිල්ලේ පිහිටුවා ඇති ජී.එස්.එම්.බී. ටෙක්නිකල් සර්විස් පුද්ගලික සමාගම මඟින් සිදු කිරීමට සැරසෙන බවටත් පරිසර සංරක්ෂණ භාරය චෝදනා කරයි.

එසේම අදාළ මහ පරිමාණ යාන්ත්‍රික කැණීම් කටයුතු සඳහා නීති විරෝධීව අනුමැතිය ලබා දීමට භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ වැඩබලන අධ්‍යක්ෂ, සජ්ජන සිල්වා මහතා විසින් දැඩි පරිශ්‍රමයක නිරතවන බවද එම භාරය සඳහන් කරයි.

කොටිකන්බොක්ක වනාන්තරය අලි - ඇතුන් ජීවත් වන වියළි මිශ්‍ර සදාහරිත වනාන්තරයක් සේ සැලැකේ.

 කොටසක සැවානා වානාන්තර ද ව්‍යාප්ත වී තිබෙන අතර සුදු තිරිවානා කැනීමට යෝජිත කඳුවැටිය වියළි මිශ්‍ර සදාහරිත වනාන්තරයෙන් වැසී ඇති වනාන්තරය තුළ පිහිටි කොටසක් බව පරිසර සංරක්ෂණ භාරය කියා සිටී.

ඔවුන් පෙන්වා දෙන්නේ මේ කොටසේ සුදු තිරිවානා කැණීමට වනාන්තරය ඉවත් කළ යුතු අතර කැණීම් කරන ඛනිජ ප්‍රවාහනය කිරීම සඳහා වනාන්තරය තුළ මාර්ග පද්ධතියක් සකස් කළ යුතු වන බවයි.

2009 අංක 65 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තියට අනුව මේ වනාන්තරය තුළ කැණීම් කිරීම, ගස් කපා ඉවත් කිරීම, මාර්ග තැනීම ඇතුළු සියළුම ක්‍රියා තහනම් බවද ඔවුන් කියා සිටී.

ඡයාරූප -  ශමිල රත්නසූරිය
(ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top