Jul 10, 2017

රජගෙදර වැලලූ මහින්දගේ විශේෂ යන්තර

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා රජගෙදර පදිංචියට යාමට පෙර විශේෂ ආරක්ෂා යන්ත්‍ර කිහිපයක් භූමිගත කළ බව ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සුමනදාස අබේගුණවර්ධන මහතා කියයි.

රජගෙදර පැවති වාස්තු දෝෂ හේතුවෙන් ජනාධිපතිවරු කීප දෙ‍නෙක්ම රජගෙදර පදිංචියට යෑම ප්‍රතික්ෂේප කළ බව පවසන ඔහු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 2006 ජූලි 06 වැනිදා සිටම රජගෙදර නැවතී සිටියේ විශේෂ ආරක්ෂා යන්ත්‍ර රජගෙයි තැන්පත් කළ නිසා බවද සඳහන් කරයි.

එහි ප්‍රධාන උළුවස්ස නැගෙනහිර දිශාවට මුහුණලා ඉදිකර තිබීම ඒ අතර සැලකිල්ලට ගත් ප්‍රධාන වාස්තු විද්‍යාත්මක දෝෂයක් බවද හෙතෙම හෙළිකර ඇත.

කොළඹ රජගෙදර උඩ කාමර 5ක් සහ යට කාමර 5ක් වනසේ ඉදිකර ඇති බවත්, රජගෙදර බ්‍රහ්ම පාදය ඇති ස්ථානයේ අර්බුදකාරී පිහිටීමක් නොවන බවද සුමනදාස මහතා කියා සිටී.

රජගෙදර පදිංචියට ගිය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා 2006 ජූලි 21 වැනිදා රජගෙදර කිරි උතුරුවන ලද්දේද බ්‍රහ්ම පාදය පිහිටි ස්ථානයේ බව පැවසේ.

බ්‍රහ්ම පාදය මෙන්ම තවත් මූලිකවම සැලකිල්ලට ගත යුතු වාස්තු විද්‍යාත්මක මූලධර්ම බොහොමයක් පවතී.

image 9916286dcfමහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නේ 2005 නොවැම්බර් 19 සෙනසුරාදා පස්වරු 1.21 ට වුද ඔහු රජගෙදර පදිංචියට ගියේ 2006 ජූලි 21 සිකුරාදා බව පවසන හෙතෙම ඉන් පෙර රජගෙදරට ගෙවැදීමට රාජකීය ජ්‍යොතිෂ්‍යවේදියා ලෙස ඔහු නැකත් කිහිපයක් දුන්බවද කියා සිටී.

මහින්ද රජගෙදරට ගියේ රැජිනගෙ ආච්චිත් ඉවත් කරලා !

රජගෙදර ප්‍රධාන උළුවස්ස ඇති ද්වාරය අබිමුව එංගලන්තයේ මහ රුජනගේ මිත්තණියක වන මේරී රුජනගේ විශාල පිළිරුවක් ඉදිකර තිබුණ බවත්, ඔටුණු පැළඳ සිංහාසනයේ සිටින කිරිගරැඩෙන් නිර්මිත ඒ රුව වාස්තු විද්‍යාත්මක ශාස්ත්‍රයට අනුව එතන ඉදිකර තිබීම යෝග්‍ය නොවීම නිසා එය ඉවත්කර බුදු පිළිමයක් එතැන තැබූ බවද සුමනදාස මහතා සඳහන් කරයි.

වර්ග අඩි හාරසීය ගණනක වපසරියකින් යුත් රජගෙදර ලෑලි සොල්දරයේ ගා තිබූ පොලිෂ් ආලේප පවා වාස්තු විද්‍යාවට අනුකූල නොවීම නිසා ඉවත් කළ බව කියා සිටී.

රජගෙදර වහල තුළ ප්‍රබල වාස්තු විද්‍යාත්මක දෝෂ දකින්නට නොතිබුණු බවත් තිබූ දෝෂ මඟහැරිය බවත් සුමනදාස මහතා හෙළිකර තිබේ.

භූගත බංකරය සුමනදාසගේ වැඩක් !

මහින්ද රාජපක්ෂ ජනධිපතිවරයා ආරක්ෂාව පතා රජගෙදර භූගත බංකර ඉදි කළේද දෛවඥයා දුන් උපදෙස් අනුව බව පැවසේ.

ගමේ ගරාජයකටවත් සුදුසු නැතැයි උපකල්පනය කළ හැකි තත්ත්වයේ තිබූ පෙර බංකරයට අඟලේ බට අල්ලාගෙන පළමුව බැස බලා ඇත්තේ ද රාජකීය දෛවඥයාය විසින් බව වාර්තා වේ.

රජගෙදර ඉතිහාසය

බ්‍රිතාන්‍යයන්ගේ ගෘහ නිර්මාණ ශිල්පයේ සිද්ධාන්ත පදනම්ව ගොඩනැංවූ රජගෙදරට මුලින්ම බුදු පිළිම මහන්සේ නමක් වැඩම වූ දේශපාලනඥයා සහ එහි පදිංචියට ගිය ප්‍රථම අග්‍රාණ්ඩුකාරවරයා සහ ජනාධිපතිවරයා වන්නේ විලියම් ගොපල්ලවය. ඒ 1962 සිට 1978 දක්වා කාල පරිච්ඡේදයේදීය. 1978 දී බලයට පත් ශ්‍රීලනිප ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස සහ වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යන ජනාධිපතිවරු රජගෙදර පදිංචියට ගියේ නැත. ඊට හේතුව වූයේ එහි වාස්තු විද්‍යාත්මක දෝෂ පවතින බවට ඒ ජනාධිපතිවරුන් තුළ වූ ප්‍රබල විශ්වාසයයි. පදිංචියට නොගියත් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා රජගෙදර අලුත්වැඩියා කළේය. ජේ.ආර්. මෙන්ම 1989 සිට 1993 දක්වා ජනාධිපති ධුරය හෙබවූ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාද රජගෙදර භාවිත කළේ නිල කටයුතු සඳහා පමණි.

ආර්.එල්. බ්‍රෝහියර්ගේ කොළොම්පුර පුරාවෘත්තයට අනුව පෘතුගීසින්ගෙන් කොළොම්පුරය පැහැරගෙන වසර ගණනාවක් ගතවීමෙන් පසු හා ප්‍රැන්සිස්කන් පූජකවරැන් ඉවත්ව යාමෙන් පසු අද ක්වීන්ස් හවුස් පිහිටි තැන නිවෙසක් ගොඩ නැගිණි. එය අන්තිම ලන්දේසි ආණ්ඩුකාරවරයා වූ ඇන්ගල් බීක් පදිංචි වූ නිවසයි. 1799 සැප්තැම්බර් මස ඇන්ගල් බීක් මිය ගියේය. ඉන්පසු ඔහුගේ දේපළ උරුම වූයේ ඔහුගේ පුතා වන ක්‍රිස්තියාන්ටය. තම ලේලිය හා ඇගේ සැමියා බේරාගැනීමට ඉදිරිපත් වූ ඔහු තම පවුල සතු නිවස තම ඥාති ලේලියගේ ක්‍රියාකලාපය නිසා රජයට අහිමි වූ මුදලට වන්දි වශයෙන් රජය සතු කිරීමට ඉදිරිපත් විය.

ආණ්ඩුකාර ෆෙඩ්රික් නෝත්ගේ කාලයේදී මේ මන්දිරය ආණ්ඩුවට අයත් දේපලක් බවට පත්වූයේ එලෙසය. ඒ 1804 ජනවාරි 17 වැනිදාය. ඒ යුගය වෙද්දී බ්‍රිතාන්‍ය අණසකට මෙලක සම්පූර්ණයෙන් යටත්ව නොතිබුණි. නෝත්ගෙන් පසු මෙරට ආණ්ඩුකාර ධුරයට හිමිකම් කී තෝමස් මෙට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා මෙම නිවෙස තම පදිංචිය සඳහා වඩාත් සුදුසු බව කල්පනා කළෙන් එය ඔහුගේ පදිංචිය සඳහා තෝරා ගත්තේය. කොළඹ වරායට යාබදව පිහිටි මේ සුන්දර මන්දිරයේ විසුම මෙට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාට වඩාත් ප්‍රියදායී අත්දැකීමක් විය. රජගෙදර හෙවත් Kings House ලෙස එය හැඳින්වූයේ ආණ්ඩුකාර මෙට්ලන්ඩ් එම මන්දිරය තම වාසභූමිය බවට පත්කර ගැනීමෙන් ඉනික්බිතිවය. අද ඒ මුල් මන්දිරයේ නෂ්ඨාවශේෂ නෙතට හසු නොවන්නේ පසුකාලීනව මන්දිරය විසල් කිරීමේදී එය සම්පූර්ණයෙන්ම ඉවත්කළ නිසා විය යුතු යැයි විශ්වාස කෙරේ.

රජගෙදර ඇති භූමියේ එදා ඕලන්ද ආණ්ඩුකාර නිවෙස ඉදිකරන්නට පෙරාතුව පැවතියේ ශාන්ත ප්‍රැන්සිස් පල්ලියයි. ලඳු කැලෑවකින් වටවූ කනත්තක් ඊට යාබදව පිහිටියේය. පෘතුගීසි පාලන සමයේදී දොන් ජුවන් ධර්මපාල රජු ආදාහනය කර ඇත්තේද එම කනත්තෙහිය. රජගෙදර ගොඩනගා ඇත්තේ මිනී ඇටකටු ගොඩක් මත යැයි මේ ඉතිහාස සංසිද්ධිය පදනම්ව ඇතැම්හු අදහස් දැක්වුවත් අනන්ත සංසාර සංචාරයක යෙදෙන මිනිස් වග භවයෙන් භවය අත්හැර යන වාර ගණන සිතද්දී මේ මිහිතලය මත මිනිස් ඇටකටුවක් මිහිදන්ව නැති තැනක් සොයාගත හැකිදැයි සිතෙන තරම්ය.

වර්ෂ 1837-1901 වික්ටෝරියා රැජනගේ පාලන යුගයේදී මේ මන්දිරය හැඳින්වූයේ රැජන මන්දිරය හෙවත් Queens House යන නමිනි. ඉන්පසු එය නැවත රජගෙදර බවට පත්වුවත් තවත් ස්වල්ප කාලයක් ඇවෑමෙන් එළිසබෙත් රැජනට බ්‍රිතාන්‍ය කිරීටය ලැබුණු ඉනික්බිති එය නැවතත් රැජන මන්දිරය බවට පත්විය.

1972 මැයි 22 එය ජනාධිපති මන්දිරය ලෙස හැඳින්වූයේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ලෙස අබිසෙස් ලද පසුවය. එහෙත් සාමාන්‍ය ජනයාට එදත් අදත් ඒ මහ මැඳුර රජගෙදරමය.

මූලාශ්‍රය - දේශය

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top