Jul 13, 2017

සංගා ඝාතන තැතක් ගැන ස්කයිප් ඔස්සේ හෙළිකරයි ! Featured

ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූ 2009 වසරේ පාකිස්තානු සංචාරය කිසියම් අයකුගේ පෞද්ගලික වුවමනාකට සිදු කළ සංචාරයක් දැයි සොයා බැලීමට දැන් කාලය බව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක කුමාර සංගක්කාර කියා සිටී.

එම සංචාරයට ක්‍රීඩකයන් යවනු ලැබුවේ ඔවුන්ගේ ජීවිත අවදානමට ලක්කර බවද ඔහු චෝදනා කරයි.

වත්මන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දක්ෂතා හීනවීම සම්බන්ධයෙන්  අමාත්‍ය අර්ජුන රණතුංග මහතා හිටපු නායක සංගක්කාර හා මහේල ජයවර්ධනට එල්ලකරන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේබව පුවත්පතකට පවසා තිබේ.

“2009 වසරේදී අපේ ආරක්ෂාව නොතකා, මං හිතන්නෙ මැරෙන්නම කියලා වගේ අපිව පාකිස්තානයට යැව්වේ අපි අහපු සියලු ප්‍රශ්නවලට පිළිතුරුවත් නොදී. අපේ බාගයක් කට්ටියට වෙඩි වැදිල තුවාල වෙලයි අපි ආවෙ. මගේ තාමත් ඇගේ වෙඩි වැදිච්ච යකඩ කුඩු තියෙනවා” යනුවෙන්ද ඔහු ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් පැවසූ බව අදාළ පුවත්පතේ දැක්වේ.

සංගා මේවන විට එංගලන්ත සරේ ප්‍රාන්ත පිලට ක්‍රීඩාකරන බැවින් ඔහු ස්කයිප් තාක්ෂණය ඔස්සේ මේ හෙළිදරව්ව කළ බව පැවසේ.

චාලි ගැනත් පරීක්ෂණ කරන්න

ක්‍රීඩක කළමනාකරුවකු ලෙස චාලි ඔස්ටින් සමඟ එක්වෙමින් කුමන්ත්‍රණකාරී ලෙස කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කිරීමට කටයුතු කළ බවට වන චෝදනා සම්බන්ධයෙන්ද විධිමත් පරීක්ෂණයක් කරන්නැයි එහිදී සංගක්කාර යෝජනාකර ඇත.

ඒ සඳහා තමා උපරිම සහය දෙන බවද ඔහු පවසා තිබේ.

වසර 2009 දී ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පාකිස්තානයේ සංචාරය කරනු ලැබුවේ කුමාර සංගක්කාරගේ නායකත්වයෙනි.

එම වසරේ මාර්තු 03 වැනිදා ලාහෝර්වලදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවූ අතර එහිදී එවකට සිටි ප්‍රධාන පුහුණුකරු පෝල් ෆාබේස් මහතා ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් හත්දෙනෙකු තුවාල ලැබීය.

වෙනත් රටවල් පාකිස්තානයේ සංචාරය කිරීමෙන් වැලැකී සිටි එම අවධියේ ශ්‍රී ලංකා පිල පාකිස්තානයට යැවූ බවට මේවන විට චෝදනා එල්ලව ඇත්තේ එවකට ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති වූ අර්ජුන රණතුංග මහතාටය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top