Jul 17, 2017

තවත් පෞද්ගලික වෛද්‍ය පීඨ 6ක්

සයිටම් ආයතනයට සම්බන්ධ රෝහල අද  දින (17) රජයට පවරාගත් නමුත් එය  ආයතනය සම්බන්ධ ගැටලුවට විසදුමක් නොවන බව සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසයි.

රජය ගත් මෙම ක්‍රියාමාර්ගය ගැටලුවට විසදුමක් ලෙස ආණ්ඩුව හා සමහර වෘත්තීය සමිති ඇතුළු පාර්ශ්වයන් කරුණු ඉදිරිපත් කරමින් ජනතාව නොමඟ යැවීමට උත්සහ කරන බවද ඒ මහතා පවසයි.

ඔහු පවසන පරිදි මෙම රෝහල වසර 10ක් සදහා රජයට බදු දෙන අතර දෙපාර්ශවයේම එකගත්වයෙන් පාලක මණ්ඩලයක්ද පත් කරන බවත්, එහි සභාපතිත්වයද වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට හිමි වීමට නියමිත බවත් ඔහු කියා සිටී.

සයිටම් රෝහල සෑදීමට මාළඹේ ලංකා බැංකු ශාඛාවේන් රුපියල් මිලියන 600 ක ණය මුදලක් ලබා ගෙන ඇති අතර එම මුදල තවමත් පියවා නොමැත. එබැවින් මෙම රෝහල රජයට පවරා ගැනීමේදී රජය විනිවිද භාවයකින් තොරව ක්‍රියා කරන බවද ඔහු වැඩි දුරටත් පවසයි.

ව්‍යාපාරිකයන් හට ලාබ ඉපයීම සඳහා ජනතා බදු මුදලින් රෝහල් නඩත්තු කිරීමේ සාධාරණත්වයක් නැතැයිද ඔහු අවධාරණය කර සිටී.

දේශපාලන හයිය මත සයිටම් ආයතනය ස්ථාවර වුවහොත් ඉදිරියේදී මේ ආකාරයේම පෞද්ගලික වෛද්‍ය පීඨ ඉදිකිරීමට තවත් 06 දෙනෙකු බලා සිටින බව වෛද්‍ය ජයන්ත මහතා හෙළි කරයි.

දින 500කට අධික කාලයක් අඛණ්ඩ ශිෂ්‍ය ක්‍රියාමාර්ගවල යෙදී සිටින වෛද්‍ය ශිෂ්‍යයන්, විවිධ විරෝධතාවල නියුතු වෛද්‍ය පීඨ ආචාර්යවරුන්, වෛද්‍යවරුන් හා වෛද්‍ය ශිෂ්‍ය දෙමාපියන් ඇතුලූ පොදු ජනතාව විසින් සයිටම් ගැටලූව සම්බන්ධව ඉල්ලූ විසඳුම මෙය නොවන බව පවසන ඔහු එසේනම්  රෝහල පමණක් නොව අදාළ පෞද්ගලික වෛද්‍ය පීඨය ද රජයට පවරා ගත යුතු බව පවසයි.

මෙම ව්‍යාජ විසඳුම් වලින් සිදු වන්නේ ගැටලූව තවත් සංකීර්ණවී ජනතාව හා වෛද්‍ය ශිෂ්‍යයන් තව තවත් පීඩාවට පත් වීම බව ද සදහන් කරන ඔහු වෛද්‍ය පීඨවල සේවය කරන  ආචාර්යවරුන් මෙම පෞද්ගලික පාසල්වලට දේශන සදහා යාම නිසා මෙතෙක් පෞඪ නමක් දිනා සිටි රජයේ වෛද්‍ය පීඨද කඩා වැටෙන තත්ත්වයක් උද්ගතවිය හැකි බව  වැඩි දුරටත් පෙන්වා දෙයි .

ව්‍යාජ විසඳුම් පිළිගත නොහැකි බවත් සයිටම් පෞද්ගලික වෛද්‍ය උපාධි විකුණන ආයතන අහෝසි කිරීමෙන් තොර විසඳුමක් නැති බවත් ආණ්ඩුවට දැඩිව අවධාරණය කර සිටී.

මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට අප සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දුරකථනයෙන් සම්බන්ධකර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top