nsb

Nov 14, 2016

තලතාගේ ගිවිසුමෙන් කෝටි 450ක පාඩුවක් Featured

සෞදි අරාබියට ගෘහ සේවිකාවන් සැපයීමට අදාළ නව ගිවිසුමක් හේතුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන 4.5 ක මුදලක් ශ්‍රී ලංකාවට අහිමි වී යාමේ අවදානමක් පවතී.

සෞදි අරාබිය සහ විදේශ රැකියා අමාත්‍යාංශය අතර අත්සන් කෙරුණු නව ගිවිසුමට අනුව එක්  ගෘහ සේවිකාවක් බඳවා ගැනීමේ දී සෞදි අරාබි  හාම්පුතුන්ගෙන් අය කළ අමෙරිකානු ඩොලර් 5000 ක මුදල අමෙරිකානු ඩොලර් 1560 දක්වා අඩු කර ඇත.

2017 ජනවාරි පළමු වැනි දා සිට නව ගිවිසුම ක්‍රියාත්මක වීමට නියමිත අතර අදාළ ගිවිසුම හේතුවෙන් වසරකට රුපියල් බිලියන 4.5 ක මුදලක් මෙරටට අහිමි වී යන බව විදේශ රැකියා නියෝජිත ආයතන පෙන්වා දෙයි.


හොර රහසේ අත්සන් කල ගිවිසුමක් :


බඳවා ගැනීම් ගාස්තු කප්පාදුව සම්බන්ධයෙන් බලපත්‍රලත් විදේශ සේවා නියෝජිත ආයතන සංගමයේ ලේකම් විජය උඳුපිටිය මහතාගෙන් අප කළ විමසීමක දී හෙතෙම මෙසේ කියා සිටියේය.

“විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතේ 55 (ඊ) ඡේදයට අනුව මේ සංගමය ලියාපදිංචි කරලා තියෙන්නේ අමාත්‍යවරයාට හෝ අමාත්‍යවරියට විදේශ රැකියා සැපයීම සම්බන්ධයෙන් උපදෙස් දෙන්න. නමුත් අපට බලහත්කාරයෙන් ඒ වැඩේ කරන්න බෑ.

මේ ගිවිසුම අත්සන් කරන බවක් අපිට දැනුම් දුන්නේ නෑ. තලතා අතුකෝරල ඇමැතිවරිය මේක කරලා තියෙන්නේ හොර රහසේ.

ඒ නිසා ඇමැතිවරිය මේ ගිවිසුම නිසා අහිමි වන රුපියල් බිලියන 4.5 ට වගකිවයුතුයි.

මෙවැනි  ගිවිසුමක් අත්සන් කරනවා නම් අප සංගමයේ මෙන්ම විදේශ රැකියා නියෝජිත ආයතන ද දැනුවත් කළ යුතුයි.

එහෙම දැනුවත් කළානම් අහිමි වන මුදල නැවත රටට ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක් අපි යෝජනා කරනවා.

එවැනි දැනුම් දීමක් නොකරපු නිසා වාර්ෂිකව රුපියල් බිලියන ගණනක මුදලක් රටට අහිමි වෙනවා.


සෞදියට වසරකට ගෘහ සේවිකාවන් 30,000 ක් :


සෞදි අරාබියට විතරක් අවුරුද්දකට ගෘහ සේවිකාවන් තිස්හය දහසක් පමණ ශ්‍රී ලංකාවෙන් පිටත් කර යැවෙනවා.

නව ගිවිසුම අත්සන් කරන්න කලින් අපි දැනුවත් කළා නම්, වසර දෙකක් සම්පූර්ණ සේවා කාලය සපයන ගෘහ සේවිකාවන්ට බෝනස් මුදලක් ලබා දීමේ යෝජනාව ඇතුළත් කරලා.

අහිමි වෙන මුදල නැවත ලබා ගැනීමේ සාධනීය පියවරක් ගන්න තිබුණා. නමුත් එහෙම සිද්ධ වුණේ නැහැ. මේක බරපතළ තත්ත්වයක් සහ අපරාධයක්”

විදේශ රැකියා අමාත්‍යාංශය අත්තනෝමතිකව රහසිගතව අත්සන් කළ නව ගිවිසුම සම්බන්ධයෙන් කරුණු දැන ගැනීම සඳහා විදේශ  රැකියා ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකම උත්සාහ කළත් ඇමැතිවරිය ඊට ප්‍රතිචාර දැක්වූයේ නැත.
 
(දයා නෙත්තසිංහ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top