Jul 17, 2017

'බදු ආදායම වැඩි කළ යුතුව තිබෙනවා' - අගමැති (වීඩියෝ) Featured

ලබන වසර තුන ඇතුළත දී ශ්‍රී ලංකාවට රුපියල් කෝටි හාර ලක්‍ෂ විසි දහසක ණයක් ගෙවීමට තිබෙන බවත්, ඒ ණය ගෙවා දැමීමට නම් අපට ඉතා තරගකාරී වෙළෙඳ ආර්ථිකයක් අවශ්‍ය බවත් පවසන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, ඒ සඳහා අපනයනය වැඩි කිරීමටත්, රටේ ආදායම වර්ධනය කිරීමටත්, බදු ආදායම වැඩි කිරීමත් අනිවාර්යයෙන් කටයුතු කළයුතුව ඇතැයි අවධාරණය කර සිටියි.

රජයේ සහ පෞද්ගලික අංශයේ වෘත්තිකයින් වෙනුවෙන් පන්නිපිටිය වීර මාවතේ ඉදිවන නිවාස 500 කින් සමන්විත 'වියත් පුර' නිවාස සංකීර්ණය ඉදිකිරීමේ සමාරම්භක උත්සවයට අද (17) උදෑසන එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

රට හමුවේ විශාල ණය බරක් තිබුණ ද සංවර්ධන ව්‍යාපෘතීන් අඩපණ නොකරන බව අගමැතිවරයා එහිදී සඳහන් කළේය.

එහිදී ඔහු මෙසේද පැවසිය.

''2020 වසර වන විට මූලික ණය ගෙවීමේ පදනම ඇති කර ඊළඟ වසර 5 ඇතුළත මේ ණය බර ක්‍රම ක්‍රමයෙන් අඩු කිරීමට හැකියි.

ඉතා තරගකාරී වෙළෙඳ ආර්ථිකයක් ඇති කළ විට ඉන් ලැබෙන වාසිය ස්වල්ප දෙනෙකුට පමණක් සීමා කරන්නට බැහැ.

එහි ප්‍රතිලාභ බෙදී යන්නේ කර්මාන්ත, ව්‍යාපාර හිමි කිහිප දෙනෙකු අතර පමණක් නොවේ.

වීඩියෝව

අපට වෙළෙඳ ආර්ථිකය සහ සමාජ සාධාරණත්වය යන අංශ දෙකම අවශ්‍යයි.

පසුගිය සතියේ දී වෙළෙඳ කලාපීය වෘත්තීය සමිති සමග ද සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබුණා.

නිෂ්පාදනවලට ලැබෙන ලාභය වැඩි වූ විට එහි වාසිය ලාභයේ කොටස්කරුවන් වන සේවකයන් සඳහා ලබාදෙන්නේ කෙසේදැයි සාකච්ඡා කළා. රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ ද එම ක්‍රියාමාර්ග ගත යුතුයි. ''

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top