Jul 17, 2017

ජාතික ආණ්ඩුවේ අනාගතය ගැන අගමැතිගේ ස්ථාවරය ? Featured

කුමන බාධා පැමිණියද ජාතික ආණ්ඩුව ඉදිරියට රැගෙන යෑම සියලූදෙනාගේ වගකීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

රජයේ සහ පෞද්ගලික අංශයේ වෘත්තිකයින් වෙනුවෙන් පන්නිපිටිය වීර මාවතේ ඉදිවන නිවාස 500 කින් සමන්විත 'වියත් පුර' නිවාස සංකීර්ණය ඉදිකිරීමේ සමාරම්භක උත්සවයට අද (17) උදෑසන එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් එකට එක්ව කටයුතු කිරීම ඉතා අසීරු කටයුත්තක් බව එහිදී පැවසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, රටේ යහපත වෙනුවෙන් අපහසුවෙන් හෝ එම තීරණය ගෙන ඇති බව සඳහන් කළේය.

අගමැතිවරයා එහිදී වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

ලෝකය දෙසට අවධානය යොමු කරමින්:

''2015දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අප ජාතික ආණ්ඩුවක් නිර්මාණය කළේ විශාල වැඩකොටසක් සිදුකිරීමට අවශ්‍ය බව තේරුම් ගත් නිසයි.

පැරණි දේශපාලන සම්ප්‍රදායට අනුව අපේ පක්ෂයෙන් පමණක් තනිව ආණ්ඩුවක් ගෙන යනවා යැයි පැවසීමට හැකියාව අපට තිබුණා. නමුත් මෙම ගැටළුවලට විසදුම් ලබාදෙමින් එක්ව වැඩ කිරීමට අප තීරණය කළා.

පසුව ඡන්දයකට මුහුණ දෙන විට ජනතාව මෙම පක්ෂ දෙකේම ගුණ වර්ණනා කරයි.

එවිට ජනතාව පක්ෂ දෙකේම අපේක්ෂකයන් අතුරෙන් රටට වැඩදායි අපේක්ෂකයන් තෝරා ගනිවි. මෙම ක්‍රමය අප ගෙනාවේ ලෝකය දෙසට අවධානය යොමු කරමින්.

මේ වනවිට අපට ජාත්‍යන්තර ආධාර සහයෝගය ලැබෙමින් පවතිනවා. ගෙවා ගැනීමට නොහැකිව තිබූ ණය බර අද අප පාලනය කර තිබෙනවා.

මේ සියලූ වැඩකටයුතු අප සිදුකරන්නේ ජාතික ආණ්ඩුවක් ලෙස සියලූ දෙනාගේම එකතුවෙන්.

විශේෂ වාසියක් ලබාදීමට නොවේ :

එක්සත් ජාතික පක්ෂයට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශේෂ වාසියක් ලබාදීමට අප මෙම වැඩකටයුතු කරන්නේ නැහැ.

පක්ෂ දෙකක් එකට වැඩකිරීම යනු ඉතා අසීරු කාර්යයක්. මෙම නිවාස ව්‍යාපෘතිය ආරම්භ කිරීම ජාතික ආණ්ඩුවක් රැගෙන යනවා වාගේ යයි මා පැවසුවේත් එම නිසයි.

ජාතික ආණ්ඩුවක් රැගෙන යන විට යම්තමින් හෝ අවධානය ගිලිහුණොත් වරදින්නේ කෙසේදැයි සිතා ගැනීමටත් නොහැකි වෙනවා. පොඩ්ඩක් බැරි වුනොත් කොහේ ගිහින් වදියි ද දන්නෑ.

රටට වාසියක් වන නිසා කෙසේ හෝ මෙය ඉදිරියට ගෙන යාමට අප තීරණය කළා.''

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top