15976 BM WEB BANNER 01
Nov 14, 2016

වැලිකඩ ඝාතනයට වසර 7යි : යහපාලනය ගැන සැකයක් Featured

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් විසි හත් දෙනාගේ මරණ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම සඳහා ආණ්ඩුව ක්‍රියා නොකරන්නේ නම් ඊට එරෙහිව වීදි බැස උද්ඝෝෂණය කළ යුතු බව 'ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිවේදීන්ගේ සංගමය' පවසයි.

2012 වසරේ නොවැම්බර් 09 වනදා වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු මරණයට පත් වී වසර හතරක් ගත වී ඇතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් යුක්තිය ඉටු වී නොමැති බවට මානව හිමිකම් සංවිධාන චෝදනා කරති.

එකී මරණ සම්බන්ධයෙන් පැවති ආණ්ඩුව සහ යහපාලන ආණ්ඩුව යටතේ පත් කරන ලද කමිටු විසින් ලබා දෙන ලද වාර්තා මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාව තුළ සැකයක් ඇතිවීමට හේතු විය හැකි යැයි ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිවේදීන්ගේ සංගමයේ සම කැඳවුම්කරු, ජ්‍යෙෂ්ඨ නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ මහතා කියා සිටියේය.

"ජනතාවට යහපාලනය සම්බන්ධයෙන් පවතින විශ්වාසය පලුදු වෙන්න ඉඩ තිබෙනවා. පසුගිය ආණ්ඩු කාලයේ කොහොම වුනත් මෙවැනි සිදුවීම් පිළිබඳ හෙළිදරව් කරන බවට හා වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවන බව සපත කරලා මේ ආණ්ඩුව බලයට පත් වුනේ," නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ මහතා පැවසීය.

"ඒක ක්‍රියාත්මක වෙන්නේ නැතිනම් ජනතාවට සිද්ධ වෙනවා එළියට බැහැලා උද්ඝෝෂණ කරන්න," ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

'යහපාලන පොරොන්දු':

අපරාධකරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී විශාල ප්‍රමාදයක් දක්නට ඇති බව පවසන මානව හිමිකම් පිළිබඳ නීතිඥ චන්ද්‍රපාල කුමාර මහතා, මෙවැනි අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා වරදකරුවන් හෙළි කිරීමට අකමැති පාර්ශව යහපාලන ආණ්ඩුවේ සිටිය හැකි බවත් විමර්ශන ක්‍රියාත්මක නොවීමට එය හේතුවක් විය හැකි බවත් සඳහන් කළේය.

මේ අතර රැඳවියන් ලැයිස්තුගත කොට "ඝාතනය" කළ බවට ඇසින් දුටු සාක්ෂිකරුවන් සාක්ෂි ලබා දී ඇති බව අදාළ මරණ සම්බන්ධයෙන් සාධාරණය ඉටු කර දෙන ලෙස මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල මහතා විසින් පසුගියදා මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුළු ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත යොමුකරන ලද ලිපියකින් ඉල්ලීමක් කර තිබේ.

"ඝාතනයට" පත් වූ රැඳවියන්ගේ දෙමව්පියන් සහ සිවිල් සංවිධාන 2015 වසරේ පෙබරවාරි 17 වැනිදා යුක්තිය ඉල්ලා උද්ඝෝෂණයක් සිදු කළ අතර එහිදී දින සියයේ ආණ්ඩුවේ අධිකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සුජීව සේනසිංහ මහතා විසින් ඒ පිළිබඳ සොයා බලන බවට පොරොන්දුවක් ලබා දුන් බවත් මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල මහතා වැඩිදුරටත් පවසයි.

මේ පිළිබඳව ජාතික මානව හිමිකම් කොමිසමේ සභාපතිනි මහාචාර්ය දීපිකා උඩගම මහත්මිය ගෙන් විමසීමක් කළ අවස්ථාවේ පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු විමසා බලා තවත් දින කිහිපයකින් සිය ප්‍රතිචාරය පළ කරන බව සඳහන් කළාය.

වාර්තාව සම්බන්ධයෙන් පියවර නොගන්නේ මන්දැයි විමසීම පිණිස අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඇමතීමට දැරූ උත්සාහය සාර්ථක නොවීය.

(බිබිසි සංදේශය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top