Nov 14, 2016

ලන්සලා නිසා අසරණ මීගමු පොලිසිය Featured

මීගමු දේශපාලනයේ ප්‍රබල චරිත බවට පත්ව සිටින ලන්සා පවුල හේතුවෙන් මීගමු පොලිසිය දැඩි අසරණතාවයකට පත්ව සිටින බව එම පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ  මහතාට පහරදීමේ සිද්ධියට මීගමුව නියෝජ්‍ය නගරාධිපති දයාන් ලන්සා මහතා සම්බන්ධදැයි අධිකරණයට දැනුම්දෙන ලෙස මීගමුව පොලිසියට එම නඩුව කැඳවූ පළමු අවස්ථාවේ සිට දැනුම්දී ඇතත් මේ දක්වා ඊට පිළිතුරුදීම මඟහරිමින් සිටී.

දයාන්ගේ දුරකථන ඇමතුම් හා වෙනත් කාරණා මත මේවන විට ඔහු මීට සම්බන්ධයක් ඇති බවට තොරතුරු හෙළිව ඇති බවද මේ අතර වාර්තා වේ.

මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ මහතා මීගමුව මහනගර සභාවේ මාසික රැස්වීම වාර්තා කිරීමට ගිය අවස්ථාවේදී මේ ප්‍රහාරයට ලක්වී තිබිණි.

 ෆ්‍රෙඩීට ගැහුව දෙන්නගේ රැකියා රැක්කේ කවුද ?

ෆ්‍රෙඩීට පහරදීම සිදුකර තිබුණේ මීගමුව මහනගර සභාවේ සේවකයින් දෙදෙනෙකු වන තුෂාන් හා සුරංග යන දෙදෙනා විසිනි.

අදාළ පුද්ගලයන් මේ පහරදීම සිදුකර තිබුණේ රාජකාරියේ යෙදී සිටියදී ය.

පරිපාලන නීති රීතිවලට අනුව එවැනි වරදකට හසුව රිමාන්ඩ් භාරයට ලක්වූ අයෙක්ට යළි රැකියා හිමිවන්නේ නඩුවෙන් නිවරදිකරු වූ විටදී පමණකි.

කෙසේවුවද, දයාන්ගේ බලපුළුවන්කාරකම් හමුවේ ඔවුන් දෙදෙනා යළිත් යෙහෙන් රැකියාවේ යෙදී සිටින බවද වාර්තා වේ.

මීගමු ළමා ගණිකා මඩම වැටලූ ප්‍රනාන්දු, සතරසිංහ දිසානායක දැන් කෝ

මීට කළකට ඉහතදී දයාන් ලන්සාගේ බව කියන මීගමුවේ ළමා ගණිකා මඩමක් වැටලූ පොලිසියේ තිදෙනෙකු ආගිය අතක් නැති බවද ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

ඒ මීගමුව පොලිසියේ සේවය කළ සැරයන් ප්‍රනාන්දු, සැරයන් සතරසිංහ හා කොස්තාපල් දිසානායක යන තිදෙනාය.

කොස්තාපල් දිසානායක ජීවිත ආරක්ෂාව පතා රටින් පලාගොස් ඇතැයිද මේ අතර වාර්තා වේ.

කෙසේවුවද, මේ සම්බන්ධයෙන් දේශපාලන විචාරකයින් කියා සිටින්නේ ආණ්ඩුවේ ඇතත් නැතත් මීගමුව පාලනය වන්නේ ලන්සා පවුලෙන් බවයි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top