nsb

Nov 14, 2016

විනිසුරුවරියක් දුමින්ද හමුවූ බව තහවුරුවේ Featured

නඩු විභාගයක් සඳහා බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේ විනිසුරුවරියක මරණ දඬුවමට ලක් කර සිටින දුමින්ද සිල්වා හමු වූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා තහවුරු කරයි.

ඒ, 'බීබීසී සංදේශය' කළ විමසීමකදීය.

කෙසේ නමුත් සිරකරුවන් බැලීමට නියමිත වේලාවෙන් පසුව විනිසුරුවරිය දුමින්ද සිල්වා හමු වූ බවට පළ වන වාර්තා සත්‍යයෙන් තොර බවත් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.

මාධ්‍යවල පළ වන ආකාරයට විනිසුරුවරිය රාත්‍රී කාලයේ සිරකරු හමු වී නොමැති බව සඳහන් කළ ඔහු, ඇය දුමින්ද සිල්වා හමු වී තිබෙන්නේ සවස දෙකට පමණ බවත් වැඩිදුරටත් පැවසීය.

'ආචාර ධර්මවලට පටහැනියි'

කෙසේවුවද ඒ පිළිබඳව අදහස් දක්වන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිවේදීන්ගේ සංගමයේ සම කැඳවුම්කරු ජ්‍යෙෂ්ඨ නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ මහතා පවසන්නේ "අධිකරණ නිලධාරියෙක් මරණීය දණ්ඩනය නියම වූ පුද්ගලයකු මුණගැසීමට යාම විනිශ්චයකාරවරුන්ගේ ආචාර ධර්මවලට සම්පූර්ණයෙන්ම පටහැනි," බවයි.

විශේෂයෙන්ම දුමින්ද සිල්වා සිය දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන බැවින් විනිසුරුවරිය ඔහු හමුවීමට යාම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් ඔහු පැවසීය.

නියමිත වේලාවෙන් පරිබාහිරව සිරකරුවන් හමුවීමට කිසියම් ලෙසකින් බන්ධනාගාර බලධාරීන් අවසර දී තිබෙන්නේ නම් එහිදී බන්ධනාගාර නිලධාරීන් මෙන්ම එසේ සිරකරු හමු වූ පුද්ගලයාත් නීතිය උල්ලංඝනය කර තිබෙන බවත් මානව හිමිකම් නීතිවේදියා වැඩිදුරටත් පැවසීය.

නිල වශයෙන් පැවරී ඇති වගකීමක් :

මේ අතර මෙසේ මාධ්‍ය හරහා විවේචනයට ලක්ව ඇති දිසා විනිසුරු අයේෂා ආබ්දීන් විනිසුරුවරිය 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවියට පවසා ඇත්තේ, සිරකරුවන් බන්ධනාගාරය තුලදී සිදුකරන වැරදි සම්බන්ධයෙන් නඩු විමසන ‘ප්‍රිස්න් ට්‍රයිබියුනල්‘ හි නඩු විභාග කිරීමට තමාට නිල වශයෙන් පැවරී ඇති බවත් ඒ සඳහා තමන් සෑම බ්‍රහස්පතින්දා දිනකම බන්ධනාගාරයට යන බවත් ය.

පසුගිය 10 වෙනිදා ද බන්ධනාගාරයට ගියේ ඒ සඳහා බවත් ඇය පවසයි.

තමන් දහවල් 12.30ට පමණ ගිය බවත් යලි සවස 2 ට පෙර බන්ධනාගාරයෙන් පිට වූ බවත් කිසි සේත්ම රාත්‍රී කාලයේ බන්ධනාගාරයට නොගිය බවත් ඇය අවධාරණය කර සිටියි.

එලෙස ගිය අවස්ථාවන්හිදී තමා දුමින්ද සිල්වා පමණක් නොව තිස්ස අත්තනායක, වාස් ගුණවර්ධන ආදී සිරකරුවන්ද හමුවී ඇති බවත් ඇය පවසයි.

දුමින්ද සිල්වාට ස්නායු ආබාධයක්:

පසුගිය 10 වෙනිදා ගිය අවස්ථාවේදී මත්ද්‍රව්‍ය තබාගෙන හසුවී බන්ධනාගාර ගතව සිටින විදේශික සිරකරුවෙකු හමුවූ බවත් ඔහු අධිකරණයට ගෙන යන අවස්ථාවකදී ජංගම දුරකථනයක් අතේ තබාගෙන සිට හසුවීම නිසා බන්ධනාගාර නිලධාරීන්ගේ පහර දීමකට ලක්ව සිටි අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය විමසා ඔහු තමාගේ කොන්දට පහර දුන් බව චෝදනා කළ බැවින් ඔහුව එක්ස් කිරණ පරීක්ෂාවකට යොමුකරන ලෙස නියෝග කළ බවත් ඇය පවසයි.

දුමින්ද සිල්වාට ස්නායු ආබාධයක් තිබෙන බවත් ඊට ප්‍රතිකාර කිරීමට බන්ධනාගාර රෝහලේ ප්‍රතිපාදන නොමැති බවත් බන්ධනාගාර රෝහලේ ප්‍රධානියා තමන් සමග කියා සිටි බවද ඇය කියයි.

තමන් මෙම ප්‍රිස්න් ට්‍රයිබියුනල්හි 2015 ඔක්තෝම්බරයේ සිට සේවය කරන බවත් මීට පෙර 2006, 2009 වසර වලදී ද සේවය කර ඇති බවත් පවසන ආබ්දීන් විනිසුරුවරිය, බන්ධනාගාරයක් තිබෙන ප්‍රදේශය බාර මහේස්ත්‍රාත්වරයා හෝ වරිය විසින් මසකට වරක් බන්ධනාගාරය පරීක්ෂා කර වාර්තාවක් අධිකරණ සේවා කොමිසමට ඉදිරිපත් කළ යුතු බවද කියයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top