Nov 15, 2016

මෙවර අයවැයේ භයානක යෝජනාවක්‌ ! Featured

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්‍ෂණයෙන් තොරව ජාතික ගෙවීම් වේදිකාවක්‌ (National Payment platform / NPP) ක්‍රියාත්මක කිරීම සඳහා මෙවර අයවැයෙන් ඉදිරිපත්ව ඇති යෝජනාව මුදල් නීති පනතට සහ ගෙවීම් පියවීම් පනතට අනුකූල නොවන බව තොරතුරු තාක්‍ෂණ සහ මූල්‍ය විශේෂඥයෝ ප්‍රකාශ කරති.

රටක ගෙවීම් පියවීම් කටයුතු එම රටේ මූල්‍ය පද්ධති ස්‌ථායිතාවට කෙළින්ම බලපාන නිසා 2005 අංක 28 දරණ ගෙවීම් සහ පියවීම් පනතේ විධිවිධාන අනුව ශ්‍රී ලංකාවේ සියලුම ගෙවීම් සහ පියවීම් කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්‍ෂණය යටතේ සිදුවිය යුතු බවත් මහ බැංකුවේ අවසරයකින් තොරව එවැනි කිසිම ගෙවීම් ක්‍රමයක්‌ ස්‌ථාපිත කිරීමේ හැකියාවක්‌ නැති බවත් ඔවුහු කියා සිටිති.

මුදල් නීති පනතට අනුව රටක ගෙවීම් පියවීම් පද්ධතිය තිබිය යුත්තේ මහ බැංකුවේ අධීක්‍ෂණය යටතේ පමණි.

එසේම මුදල් නීති පනතට අනුව ලංකාවේ සියලුම ගෙවීම් පද්ධති සැලසුම් කිරීම සඳහා මගපෙන්වීම සහ නායකත්වය දිය යුතු වන්නේද මහ බැංකුව විසිනි.

මේ නිසා මෙවැනි යෝජනාවක්‌ අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය තිබුණත් ඉහත පනත්වලට පටහැනිව ක්‍රියාත්මක කිරීමට නීතියෙන් ඉඩක්‌ නැති බවත් එවැනි ඉතා අහිතකර යෝජනාවක්‌ මෙවර අයවැයට ඇතුළත් වීම විමතියට කරුණක්‌ බවත් ඔවුහු කියා සිටිති.

මහ බැංකු අධිපති නිහඬයි :

මෙය ශ්‍රී ලංකා මහ බැංකුවේ කටයුතුවලට ඇඟිලි ගැසීමක්‌ බවද මේ ගැන වහාම මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා අවධානය යොමු කර, මහ බැංකුව මගහැර ගෙවීම් පද්ධතියක්‌ ඇති කිරීමට දරණ උත්සාහය වහාම පරාජය කළ යුතුව ඇති බවත්, එසේ නොකළහොත් මුළු රටේම පවතින ගෙවීම් සහ පියවීම් පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය බිඳවැටෙනු ඇති බවත් ඔහු කියති.

මේ අහිතකර උත්සාහය හමුවේ මහ බැංකු අධිපතිවරයා නිහඬව සිටීම කණගාටුදායක කරුණක්‌ බවත් ඔවුහු කියති.

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ඒජන්සිය පවතින්නේ විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ වුවත් මෙම ජාතික ගෙවීම් වේදිකාවට අදාළ කැබිනට්‌ පත්‍රිකාව ඉදිරිපත්ව ඇත්තේ මුදල් අමාත්‍යාංශයෙන් වීම ඉතාම සැකයට භාජනය වන කරුණක්‌ බවත් එම තොරතුරු තාක්‍ෂණ සහ මූල්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.

මුහුන්තන් ගේ යෝජනාවක් :

මේ ගෙවීම් වේදිකාව පිළිබඳ යෝජනාව තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) ප්‍රධාන විධායක නිලධාරී මුහුන්තන් කනගේයි මහතා විසින් මීට පෙර ඉදිරිපත් කර තිබුණු එකක්‌ වන අතර, ඔහු මහ බැංකුව මගහැර මෙම ගෙවීම් වේදිකාව ස්‌ථාපිත කිරීමේ උත්සාහයක නිරත වී සිටි බවත් දැන් එම උත්සාහය මෙවර මුදල් ඇමැති රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ අයවැය ලේඛනයේ අංක 390 වන අයවැය යෝජනාව ලෙස කරළියට පැමිණ ඇති බවත් ඔවුහු කියති.

මුහුන්තන් කනගේයි මහතා වත්මන් රජයේ එක්‌සත් ජාතික පක්‍ෂයේ බලවත් දේශපාලන සබඳතා යොදා ගනිමින් මේ යෝජනාව ඉටුකර ගැනීමට උත්සාහ දරමින් සිටින බවද, මේ හරහා මහ බැංකුවේ අධීක්‍ෂණයෙන් තොරව මෙවැනි ගෙවීම් පද්ධතියක්‌ ක්‍රියාත්මක වුවහොත් ඒ හරහා විශාල මූල්‍ය අක්‍රමිකතා සිදුවීමේ අවස්‌ථාවන්ට ඉඩ විවර වනු ඇතැයිද ඔවුහු තවදුරටත් චෝදනා කරති.

මේ අතර ඒකාබද්ධ විපක්‍ෂය මේ අයවැය යෝජනාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top