Nov 15, 2016

නාඳුනන හෙදියන්ගේ එන්නත් කතාව ගැන සැකයක් Featured

නාඳුනන හෙදියන් දෙදෙනකු බාලවයස්කාර සිසුවියන් දෙදෙනකුට එන්නත් ශරීරගත කිරීමෙන් අනතුරුව ඔවුන් රෝහල්ගත කිරීමට සිදුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණවලදී එවැනි එන්නත් කිරීමක් කර ඇති බවක් නොපෙනෙන බව තඹුත්තේගම මූලික රෝහල් අධිකරණ වෛද්‍යවරයා තහවුරු කොට තිබේ.

රාජාංගණය යාය අට ශ්‍රී රාහුල විදුහ‍ලෙන් වාර්තාවූ මෙම සිද්ධිය ආන්දෝලනයකට තුඩු දුන් සිදුවීමක් වූ අතර මේ පිළිබද බොහෝ දෙනෙක් විවිධ අදහස් පළ කළ ආකාරයද දක්නට ලැබුණි.

ඉකුත් 10 වනදා පාසල් ගොස් නිවසට පැමිණි වයස අවුරුදු අටක පාසල් දැරියන් දෙදෙනකු සිහිසුන් වීම (ක්ලාන්තය) නිසා ප්‍රතිකාර සඳහා රාජාංගණය යාය 11 ප්‍රාදේශීය රෝහලට හා තඹුත්තේගම මූලික රෝහලට ඇතුළත් කිරීමට ඔවුන්ගේ දෙමාපියන් කටයුතු කර තිබුණු අතර දරුවන්ට පාසල තුළදී නාඳුනන හෙදියන් දෙදෙනකු එන්නත් විද ඇති බව පවසමින් ඔවුන් රාජාංගණය ‍පොලිස් ස්ථානයට පසුගිය (11 දා) පැමිණිල්ලක් කර තිබුණි.

සිසුවියන් දැන් කියන කතාව
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කළ ‍පොලීසිය එන්නත් විදින ලදැයි කියන තුන්වන සිසුවිය හමුවී ඇයගෙන් මේ පිළිබදව ප්‍රශ්න කර තිබේ. ඇය හත්හැවිරිදි දැරියක් වන අතර ඇය පවසා ඇත්තේ එන්නත් නොවිදි බවත් අක්කලා දෙදෙනකුට සීයා කෙනෙකු එන්නත් විදින අයුරු පාස‍ලේදී දුටු බවයි.

සිහිසුන් වූ බව කියන දැරියන් මීට පෙර ‍පොලීසියට පවසා තිබුණේ සුදු ඇඳුමින් සැරසුණු හෙදියන් දෙදෙනකු විදුහල් භූමිය තුළදී තමන් අල්ලාගෙන එන්නත් ශරීර ගතකළ බවත් අනතුරුව නිවසේදී තමන් ක්ලාන්ත වූ බවත්ය. පාසලට පැමිණි පිරිස ෂොපින් බෑගයක දමාගෙන ආ එන්නත් පිටතට ගෙන ඒවා ශරීරගත කළ බව සිසුවියන් ‍පොලීසියට පවසා තිබුණි.

පරීක්ෂණ දිගටම
එම තොරතුරුවලට අනුව පරීක්ෂණ කළ ‍පොලීසියට එන්නත් ශරීරගත කිරීමෙන් අනතුරුව පිටවන රුධිරය නැවැත්වීමට තබන පුළුන් කැබැල්ලක් විදුහල් භූමියේ තිබි හමුවී එය ඩී.එන්.ඒ. පරීක්ෂණ සඳහා ජින්ටෙක් ආයතනයට යවා තිබේ. එහෙත් එහි රුධිරය බවට සැක කළ හැකි කිසිවක් දැවටී නොතිබූ බව ‍පොලීසිය සඳහන් කළේය.

කිසියම් අයෙකු දරුවන් බියවන ආකාරයට එන්නත් කටු නොමැතිව සිරින්ජරය පමණක් අතට තබා එන්නත් ශරීරගත කළ බවක් අඟවා තිබෙන බවත්, මෙම සිදුවීම පාස‍ලේ වර්තමාන විදුහල්පතිනිය අපහසුතාවට  පත්කිරීමට කළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවටත් විශාල සැකයක් පවතින බවත් ‍පොලීසිය සඳහන් කළේය.

රාජාංගණය ‍පොලීසියේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක ආර්.එම්.අයි.බි. රත්නායක මහතා ඇතුළු අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top