nsb

Nov 15, 2016

සිහිනෙන් පෙනුනු නිධානයට බිරිඳ හා දරු දෙන්නා බිලි

තමා සිහිනෙන් දුටු නිධානය ලබා ගැනීමට බිරිඳ තදින් විරෝධය පෑම නිසා ඇයත් දරු දෙදෙනාත් කපා කොටා මරා දැමූ බවත් තමා එය කළේ බල යෝගයකින් බවත් ත්‍රිකුණාමලය කන්නියා ප්‍රදේශයේදී  තම බිරිඳ සහ දරුවන් දෙදෙනා ඝාතනය කළ සැකකරු වන හින්දු පූජකයකු ලෙස කටයුතු කරන 33 හැවිරිදි තුරෙයි රාෂා ලක්‌ෂ්මන් නමැත්තා ඊයේ (14 වැනිදා) උප්පුවේලි පොලිසියට ප්‍රකාශ කර ඇත.

ත්‍රිකුණාමලය උප්පුවේලි පොලිසිය මගින් සැකකරුව අත්අඩංගුවට ගත් අතර ත්‍රිකුණාමලය වැඩබලන මහෙස්‌ත්‍රාත් විශ්වන්ත ප්‍රනාන්දු මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 28 දා දක්‌වා රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු ප්‍රකාශ කරන්නේ තමන්ට කන්නියාව ප්‍රදේශයේ නිධානයක්‌ තිබෙන බව හීනෙන් දැන්වූ බවයි.

"මේ නිධානය නිසා ගෙදර නිතර නිතර ප්‍රශ්න ඇතිවුණා. පවුල ළමයින් සමඟ අක්‌කලාගේ ගෙදර ගියා. මම ගෙදරට ගිහින් පවුලට කිව්වා නිධානය ගැන. එයා විරුද්ධ වුණා. පස්‌සේ මම පවුලට එකක්‌ ගැහුවා. පස්‌සේ මොනවා වුණාද දන්නේ නැහැ. මට මතකයි කට්‌ටියව කපනවා. එච්චරයි මම දන්නේ. මට බලවේගයක්‌ ඇති වුණා ඒ වෙලාවේ. පස්‌සේ තමයි මම දන්නේ පවුලයි ළමයින්වයි කපලා කියලා" යෑයිද සැකකරු වන තුරෙයි රාෂා ලක්‌ෂ්මන් නමැත්තා උප්පුවේලි පොලිසියේදී පාපෝච්චාරණය කර තිබේ.

මියගිය අයගේ සොහොයුරිය වන ජයචන්ද්‍රන් සත්‍යානී පවසා ඇත්තේ මෙසේය.

'මගේ නංගී ඇවිත් මට කිව්වා මහත්තයා නිතරම නිධානයක්‌ ගැන කියනවා. කවුරු හරි බිලි දෙන්න ඕනෑ කියනවා. මට මගේ ළමයින් දෙන්න ගැන බයයි කියා.

මම නංගිට අපේ ගෙදරට ඇවිත් ඉන්න කිව්ව. සිද්ධිය වූ දින උදේ නංගි ළමයින් දෙන්න එක්‌ක ආවා. එයාගේ මහත්තයත් ආවා. මම එළවළු ගේන්න ගියා. එනකොට ගේ දොරවල් වසා දමා තිබුණා. යටගිරියෙන් දරුවෝ කෑගහනවා ඇසුණා. මම 119 දුරකථන අංකය ඔස්‌සේ සිද්ධිය ගැන පොලිසියට කිව්වා. නමුත් පැයක්‌ විතර ගියා පොලිසිය එන්න. ළඟ පාත අයත් එක්‌ක එකතු වෙලා ජනේලය කැඩුවා. කඩුව අතේ තියාගෙන සිටි නංගිගේ සැමියා ආවොත් තොපි මරන බව කිව්වා. ඒ වන විටත් නංගී පණපිටින් බිම වැටිලා හිටියේ. දුවලා දෙන්නා මැරිලා වගේ වැටිලා හිටියා. බිත්ති පුරාම ලේ විසිරිලා තිබුණා. මස්‌සිනා මතුර මතුරා තමයි ගෙයි හිටියේ.'

සැකකරුගේ මිත්‍රයකු වන ආර්. ගඡේන්ද්‍රන් නැමැත්තා පවසා ඇත්තේ ගිය මාසෙ පෝයට කලින් දින නිර්වස්‌ත්‍රව ආවේශ වීම නිසා ගමේ අය මොහුව ගසා පැන්නූ බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top