15976 BM WEB BANNER 01
Aug 10, 2017

STF ලොක්කා ඉවත්කරන්නැයි යෝජනාවක් !

පොලිස් විශේෂ කාර්ය බළකා සේනාවිධායක ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා වහාම එම තනතුරින් ඉවත් කිරීමට ජාතික ‍පොලිස් කොමිසම තීරණයක් ගෙන එය සභාගත කර ඇතැයි වාර්තා වේ.

ඒ අදාළ පත්වීම නීතිවිරෝධී බව පවසමිනි.

මෙම තනතුරට පත් කළ හැක්කේ නියෝජ්‍ය ‍පොලිස්පති තනතුර හොබවන නිලධාරියකු බවත්, එ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා එම තනතුරින් ඉවත් කිරීමේ යෝජනාව ඉදිරිපත් කර ඇති බව පැවසේ.

එම්.ආර්. ලතීෆ් මහතා 2016 අගෝස්තු 04 දා මෙම තනතුරට පත් කරනු ලැබුවේ ජාතික ‍පොලිස් කොමිසමේ නිර්දේශ මතය.

එම තනතුරට පත් වී පැමිණි පසුව හිටපු ප්‍රධානීන් හිතවත්කම් මත විශ්‍රාමික ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට හා ‍පොලිස් කොමිසමේ ඇතැම් නිලධාරීන්ට නීති විරෝධී ආකාරයට ලබා දී තිබූ විශේෂ කාර්ය බළකා ආරක්ෂකයන්, රියැදුරන් හා සෙබළුන් යළි මූලස්ථානයට කැඳවීමත්, නීත්‍යනුකූල නොවන කිසිදු දෙයකට විශේෂ කාර්ය බළකා භට පිරිස් යොමු නොකිරීමටත් එම්.ආර්. ලතීෆ් මහතා ක්‍රියා කිරීම නිසා ඔහුට දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබුණු බව ‍පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සනාථ කළේය.

එමෙන්ම විශ්‍රාමික ‍පොලිස් ප්‍රධානියකුගේ ග්‍රන්ථ කිහිපයක් විශේෂ කාර්ය බළකා භටයන්ට විකිණීමට නියෝග නොදීම ගැන ද ලතීෆ් මහතා සමග හිත අමනාපකමක් ඇතැයි අනාවරණය වේ.

ලතීෆ්ගේ තරහකාරයෙක් ජනපති ළඟ

මේ අතර, ජනපතිවරයාට ආරක්ෂාව ලබාදෙන ප්‍රධානියකු ලතීෆ් මහතාගෙන් ඔහුට පසු ආරක්ෂක රථ ඉල්ලා ඇති අතර ලතීෆ් මහතා අදාළ රථ ලබාදීම ප්‍රතික්ශේප කිරීමද ඔහුට එරෙහිව මේ යෝජනාව ඉදිරිපත්වීමට හේතුවී ඇති බව පොලිස් දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා 2016 අගෝස්තු 18 දා විශේෂ කාර්ය  බළකායේ ප්‍රධානී ලෙස පත්වීමත් සමග දූෂිත නිලධාරීන් ඉවත් කර ‍පොලිස් විශේෂ කාර්ය බළකාය නිසි මගකට ගෙන ඒමට කටයුතු කළ නිලධාරියකු ලෙස ප්‍රසිද්ධය.

මෙම තනතුර සම්බන්ධව ඇති වූ ගැටලුව නිරාකරණය කිරීමට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ‍ලේකම් ජගත් පී. විජේවීර මහතා මැදිහත් වී ඇති බව එම අමාත්‍යාංශයේ නිලධාරියෙක් අනාවරණය කළේය.

‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයකුට මෙම තනතුර හෙබවීම සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගත යුතු බව ද එම නිලධාරියා අනාවරණය කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top